Friday, December 24, 2021

ඇයද මව් නම් විය - 9 කොටස

චායාරූ අන්තර්ජාලයෙනි

ආ එන්නකො අම්ම ටිකක් මෙහෙට..

ආ.. ඇයි ටී.ච..

මේ අම්මගේ හස්බන්ඩ් නෑ නේද..

න්..නෑ ටී..ච අක්සිඩන්ඩ් එකක් වෙලා නැති උනා.

අ..ආ එක තමයි. ඔයා දැන් තැනක වර්ක් කරනවද?.. ඉන්නේ හස්බන්ඩ්ගෙ ගෙදරද..?

ඔව්.. ගාර්..ම.න්ට් එකක. බෝර්ඩ් වෙලා ඉන්නෙ..

හ්..ම් දැන් එතකොට උත්සවේට ගෙවන්න සල්ලි තියෙනවද.. තාම ගෙව්වේ නෑ නේද..

නෑ.. ටීච.. මං තව මාසෙකින් ගෙවන්නම්..

ආ කමක් නෑ.. මං ඒක අහන්න නෙමෙයි කතා කළේ.. ඔයා කැමති නැද්ද පාට් ටයිම් වර්ක් කරන්න.. දන්නවනෙ.. ඔයාට කුලී ගෙවන්නයි, කෑම වලටයි, ස්කූල් පීස් ගෙවන්නයි.. කොච්චර සල්ලි හෙව්වත් අද කාලේ මදි..

ඔ..ව්.

මං පස්සේ විස්තර කියන්නං.. ඔයාගේ කන්ටැක්ට් නම්බර් එකක් දෙන්නකෝ..

මං ඉන්න ගෙදර එක දෙ..න්.නද

ආ කමක් නෑ.. කියන්න...

 

පෙර පාසල් ගුරුවරිය දෙවන වර හමුවේදී තමාගෙන් ඇසූ දෙයට තවමත් ඇය සලිත වී සිටි. මුදල් සඳහා එවන් දෙයක් කිරීමට කාට නම් හැකිද?. ඒත් මේ කොළඹ හමනා සුළඟ පවා ගමට වඩා වෙනස්ය. තම ආත්මයත් ගසාගන යන ඒ සුළඟට එකතුවීමට ඇයට හැකියාව නොමැත. දරුවා උස්මහත් වූ දිනෙක දැනගතහොත්, දෙමාපියන් දැනගතහොත්.. ඒ නැතුව අවට ඉන්න අය දැනගතහොත්, පාරේ බැස යන්නේ කොහොමද?.. ඇයගේ සිතේ දහසක් සිතුවිලි ඇතිවේ. එදින ඇයට නින්ද පැමිණියේද මහ රාත්‍රියත් පසුවීය. උදෑසන පෙර පාසලට දරුවා දමා ඈ වේගයෙන් ආවේ නැවතත් අර ගුරුතුමිය හමුවේදෝ යන බයෙනි.

_____________________________________

 

මොකද බං... දාඩියත් දාගෙන. පයින්ම ආවද.

ඔව්. ගෙදරටත් ගිහින් ආවේ..

හ්ම්.. මොකද කරදරයක්වත්ද.. ඇස් දෙකත් යට ගිහින්..

නෑ... ඊයේ රස්නෙට නින්ද ගියේ නෑ හරියට

දන්නවද.. අරු ලියුමක් එවල..

ක..වු.ද

කවුද ඉතින් ළමයින්ගේ මහ එකා... වෙන රෙජිමන්ට් එකක්ලු දැන් වැඩ...

අයිය එන්නේ කවද්ද..

ඒක ඉතින් ඌම තමයි දන්නේ.. ආරංචි අර කෙල්ලට ළමයෙක් හම්බෙන්නලු ඉන්නේ..

අක්කට කවුද කිව්..වේ.

ඒ පැත්තේ ඉන්නව මං කලින් වැඩකරපු ෆැක්ටරියේ යාලුවෙක්ගේ මල්ලි කෙනෙක්. එයාට කියල ආරංචි කරල බැලුව...

ඉති..න්

ඉතින් කියන්නේ හරියටම කියන්න බෑ කිව්ව.. ඒත් කිව්ව විස්තරත් එක්ක මිනිහ වෙන්න ඇති කිව්ව.. ඒ මල්ලි තව දන්න දෙතුන් දෙනෙක් දාල බලල.. ට්‍රාන්සර් එකක් හම්බෙලා වෙන කෑම්ප් එකකට ගිහින් එතකොට..

හනේ මන්ද... ඉතින් ඔයාට තියෙන්නේ ගෙදර දෙන්නට කියන්නනෙ..

උන්ට කියනවට වැඩිය හොඳයි කට බිම අතුල්ලගන්නව... උන් ඒකටත් ඉතින් මට දොස් කියයි.. මගේ වැරැද්ද හින්ද එහෙම උනේ කියල...

ඒක හරි වැඩක්නෙ.. ඔයා මොනා කරන්නද.

මේ.. ඉරිදා අර හන්දියේ පන්සලට යන්න ඉන්නේ එනවද අක්කත්..

හ්ම්.. හිටියොත් බැරියැ.. ඇයි පුජාවක් තියන්නද.

නෑ..  බුදුන් වඳින්න. ගමේ ඉද්දිත් නිතරම ළඟ තිබ්බ පන්සලට යනව එකයි..

මේවා අපේ ගම් වෙලත් හත් අවුරුද්දකින් ගිහින් නෑ ඔය පන්සලට..

 

ගම කියද්දී ඇයට නැවතත් ගමේ යන්නේ කවද්දැයි මතක් විය. යන්නේ මොනවා අරගෙනද?. ගිහින් මොනවා කතා කරන්නද?. ගෙදර අය මොනවා අහයිද.. මොනවා කියයිද.... කරන්න තියෙන්නේ කරබාගෙන කියන දෙයක් අහගෙන සිටීම පමණි. වැරැද්ද තමන් අත නිසා එසේ සිටීමටද සිදුවේ. අවුරුදු ගණනකින් තම මවගේ, පියාගේ, සහෝදර සහෝදරියන්ගේ හා අසල්වාසීන්ගේ මුහුණු ඇය දැක නොතිබිණි. ඒවා කෙලෙස කාලයේ වෙනසට හසුවන්නට ඇත්දැයි ගිය විට දැකගත හැකිය. එවිට ඒ අයද තමන්ගේ වෙනස්වීම් දැකගනු ඇත.


Tuesday, December 21, 2021

ඇයද මව් නම් විය - 8 කොටස

 

චායාරූ අන්තර්ජාලයෙනි


පෙර පාසල් ගුරුදෙගුරු රැස්වීමක් කැඳවා ඇති නිසා ඇයට නොයා සිටීමටද නොහැක. තිබෙන හොඳම ඇඳුම ඇඳගෙන පුතු සමග බසයට ගොඩවූ ඇය මොනවා අහයි දැයි කියා බියට පත්විය. "සමහර විට උත්සවේ ගැන කතා කරන්න වෙන්න ඇති. සල්ලි ගැන ඇහුවොත් මොනව කියන්නද මන්ද..." කියා සිත සිතා ගමනාන්තයෙන් බැසගෙන පෙරපාසලට තම දරුවාද සමග ඇතුළුවිය.

 

කෝ එන්න අත අල්ලා ගන්න..

ඉතින් අම්ම අල්ලගන්නකො.. මට කියන්නේ..

පුතා මේ ටීච ආයෙ ඇහුවෙ නෑ නේද සල්ලි ගැන..

නෑ.. ඒත් ඕගොල්ලන්ගේ ගෙදර හම්බකරන්නේ කවුද කියල ටීචකෙනෙක් ඇහුව..

ඉතින් පුතා මොකද කිව්වේ...

මං කිව්ව හැමදේම ඉතින් අම්...ම.. විතරයි කරන්නේ කියල

හොඳ පුතා.. වෙන මුකුත් ඇහුවෙ නෑනෙ..

නෑ.. අම්මේ අන්න අමායත් ඇවිල්ල..

ආ.. පුතා අත කටේ දාන්නේ නෑ.. එක හොඳ නෑ කෝ පහලට දාන්න.

කන වෙලාවට විතරද එතකොට දාන්න හොඳ..

 

ඇය පුදුමයට පත්විය... ළමුන් වැඩි තේරුමක් නැතුව කියන කතා සමහරෙක් වැඩිහිටියන්ටද ඒහා ගිය කතාය. ඔවුන්ට යම් යම් දේවල් ගැන වැඩිහිටියන්ට පවා නොදෙවෙනි අවධානයක්, දැනීමක් ඇත. දිනක් හවස බසයේ ගමන් කරමින් සිටියදී විවිධ ප්‍රශ්න අසා එක විටම බසයේ රියදුරා දෙස මදක් වෙලා බලා හිඳ සිටි දරුවා

 

අම්..මේ අපි ඔක්කොමලව ඩ්‍රයිවර් අංකල් ගිහින් දානවනම් එයාව ගිහින් දාන්නේ කවුද..

එයා බස් එක අන්තිමට ගෙදර අරගෙන යනවා පුතා..

එච්චර ලොකු බස් එකක් දාන්න ඉඩ තියෙනවද අම්මේ ඒ අංකල්ගේ ගෙදර..

ඔව් පුතා නැත්තං බස් එකක් ගන්නේ නෑ නෙ.. ඒ අංකල්.

ඒකනේ.. එච්චර ලොකු ගෙයක් තියෙනවනම් මොකටද අම්මෙ ඒ අංකල් බස් එලවන්නේ.. අපි ඉන්න ගෙදර ආච්චි, සීයයි වගේ ඉන්න පුළුවන්නේ..

 

දිනක් පාරේ ඇති කහ ඉර පෙන්වමින් ඒ අඳ තිබෙන්නේ මොනවාට දැයි අසා සිටි විට ඒ පාර පැනීමට බව ඈ කියා සිටියදී "ඉතින් අම්මේ හැමෝම එතනින් පාර පනිනේ නෑනෙ” යයි දරුවා කීවේය.

එහෙම අය අල්ලන්න තමයි පුතා පොලිස් අංකල්ල දාල තියෙන්නේ..

ඉතින් ඒගොල්ලොත් පනිවනේ...

 

තවත් දිනෙක බාස් කෙනෙක් පෙන්වමින් "අම්මේ අර අංකල් විතරක් ඇයි අව්වේ වැඩ කරන්නේ..

ඒ පුතා හරියට ඉගෙන ගත්තේ නැති උනහම.. පෙන්වා නෙ. ඔයාටත් වෙන්නේ ඔච්චරයි ඉගෙන ගත්තේ නැත්තං..

ඉතින් අම්මේ ඉගෙන ගත්ත අයට ගෙවල් හදන්නේ ඉගෙන ගත්තේ නැති අයද එතකොට..

 

මෙවන් තැන්වලදී ඇය බොහෝ විට නිහඬව හිඳීමට වග බලා ගනී. සමහර අවස්ථාවල උත්තරදී ඉවරයක් නැත. තවත් සමහර විට දෙන උත්තරයද ප්‍රශ්නයක් කොට නැවත අසයි. ඒ දරුවන්ගේ හැටි බව දනිතත් ඇයට සමහර අවස්ථාවාදී තරහ යන වේලාවන්ද නැතුවා නොවේ. එවන් දිනයක සැරකරමින් ගැසූ පහරකට පුතා දහවලට නොකාම ඇඳට වී අඬන්නට විය. එදින ඉරිදා දිනයක් විය.

 

කෝ එන්න පුතා.. එන්න දැන් හරි.. මේ බත් ටික කන්න

බෑ.. කන්..න බෑ

ආ එන්න ප්ලේන් එකක් අරගෙන දෙන්නම්...

එපා.. මට බෑ..

හරි එන්නකො.. හවස කඩේ ගිහින් ගමු.. කෝ එන්න.. ලස්සන බල්බ් පත්තුවෙන එකක් ගමු..

උඩ යන එක...ක්.ද. මොහොතකට පෙර තරහව ඇඳේ ගුලිවී සිට දරුවා දැන් ඇය අසලට පැමිණ සෙල්ලං බඩුවල විස්තර අසමින් සිනාසේ.


Wednesday, December 15, 2021

සියැටෙල් ගේ ලියමන.....

 

චායාරූ උපුටාගැන්ම අන්තර්ජාලයෙනි

1845 දී පමණ එක්සත් ජනපද ජනපතිවරයා රතු ඉන්දියානුවන්ගෙන්, ඔවුන්ගේ වාසභවන.. වසන භූමිය කාසිවලට හුවමාරු කරගන්න උත්සාහයක යෙදෙනවා. එයට පෙරලා යැවූ ප්‍රතිචාරයක් ලෙස සියැටෙල් (සිත්ල් ලෙස සමහරුන් හඳුන්වනවා) නම් රතු ඉන්දියානු මූලිකයා යැව්ව යයි කියනා පිළිතුරු ලිපියක් ලෝකේ පුරා ප්‍රචලිතය. කාව්‍යමය ස්වරූපයක් රැගත් මේ ලියමන ඔහුගේම නොවන බව ඇතුළු තවත් මත බහුතරයක් තියේ. ලියමන සම්බන්ධ ප්‍රධානම මතය එය සියටෙල්ගේම යයි වෙනකොට අනෙක් ප්‍රධාන මතය එය හොලිවුඩ් චිත්‍රපට රචකයෙකුගෙ බවයි. කොහොමින් උනත් ජනපති වෙත ගෙන යන ලියමන සියටෙල්ගෙන් ලියා ගන්න වෙන්නෙ වෙනත් අයෙකුට. මොකද ඔහුට ඉංග්‍රීසි නොහැකි වන්නට පුළුවන්. ඒ නැතත් ලියන්නට තිබෙන හැකියාව නොතිබෙන්න පුළුවනි බොහෝ විට. (ප්‍රසිද්ධ වූ ලියවිල්ල සත්‍යය ලියමන කාව්‍යාත්මක රිද්මයක් එක් කරමින් වඩා අරුත් මතු වන අයුරින් කළ එකක් බවයි වැඩි තාර්කික බවක් තියෙන්නෙ. එහෙම සිදුවුනොත් එය බොහෝ විට චිත්‍රපට රචකයාගේ වීමට ඇති ඉඩකඩ ඉතා වැඩී).

මේ ලියනම සම්බන්ධව නැගෙන අනෙක් ගැටලුව පොඩි පොඩි වෙනස්කම් සහිත ලිපි කිහිපයක්ම පැවතීම. කොහොමින් නමුත් මේ ලියමනේ හෝ ලියමන් වල ගැබ්ව තිබෙනා කරුණු කාරණා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ අවධානය හා ඇස් අරෙව්ව දෙයක් වුනා. මන්ද මේ ලියමන හරිම විචිත්‍රවත් අයුරින් විදහා පානවා අපට පරිසරයෙන් වෙන්ව වත්මනේ දියුණුව යැයි සලකන මේ මිරිඟුව පසුපස හඹා යන අමන ක්‍රියාවත් සමග සොබාදහමත්, සතා සීපාවත්, මිනිසාත් බැඳී ඇති සදාතනික බැම්ම බිඳිගන්න ආකාරය. ඒ නිසාවෙන් මෙහි ඇතුළත් සමහර යෙදුම් පරිසර හිතවාදීන් ඇතුළු බොහෝ දෙනා නිතර උපුටනය කර ගන්නවා.

        මේ එවන් එක් ලියමනක දිගහැරුම...

වොෂින්ටන්හි නායකයාණන් අපේ ඉඩම මිලදී ගැනීමට කැමති බවට පණිවිඩයක් එවයි. නමුත් අහස, පොළොව මිලදී ගැනීමට හෝ විකිණීමට හැක්කේ කෙසේද....ඉඩම ? අදහස අපට අමුතුයි. වාතයේ නැවුම් බව හා ජලයේ දීප්තිය අපට අයිති නැතිනම් ඔබට ඒවා විකුණන්නේ කෙසේද? සෑම පයින් කිනිත්තක්ම, සෑම වැලි සහිත වෙරළක්ම, අඳුරු වනයේ සෑම මීදුමක්ම, සෑම තණබිමක්ම, සෑම නිහතමානී කෘමියෙක්ම මාගේ ජනතාවගේ පාරිශුද්ධ වස්තු හා අත්දැකීම් වන්නේය. සුගන්දවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. වලසා, මුවා, අශ්වයා, මහා රාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරි ශිඛර ද, තණබිම්වල පිනි ද, අශ්වයාගේ මිනිසාගේත් සිරුරේ උණුසුමද යන මේ සියල්ල එකම පවුලකට අයත් වේ. ඇළ දොළ සහ ගංගාවල දිය දහර හුදු ජාලයම පමණක් නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප භූමිය ඔබට ලබාදෙන්නේ නම් එය අපට පාරිශුද්ධ වස්තුවක් බව මතකයේ තබා ගත යුතුය. විල්වල පැහැදිලි ජලයේ ඇති සෑම දිලිසෙන ඡායාවක්ම මගේ ජනතාවගේ ජීවිතයේ මතක සටහන්ය. මේ ජලය නගන හඬ මගේ මුතුන්මිත්තන්ගේ හඬය. ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. එබැවින් ඔබලා සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලටද දිය යුතුය.

අපි ඔබට අපේ ඉඩම් ලබා දෙනවානම් වාතය අපට අනර්ඝ බවත්, සතුන් හා මිනිසුන් සියලු දෙනාම හවුලේ එය බෙදා ගත් බවත් මතක තබා ගන්න. අපේ මුතුන්මිත්තන්ට පළමු හුස්ම දුන් සුළඟට ඔහුගේ අවසන් හුස්මද එකතුවුණි. ඒ සුළඟම අපේ දරුවන්ගේ ජීවිතයට ආත්මය ලබා දෙයි. තණබිම්වල මල් වලින් මිහිරි වන සුළඟේ පහස ලැබීමට එය පාරිශුද්ධව තබා ගත යුතුවේ.

අපි මෙය දනිමු. මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මහ පොළොවට මිනිසා අයත්ය. සියලු දෙනාම එකම රුධිරයකින් ජීවත්ව එකට සම්බන්ධවේ. ජීවිතය නමැති දැල මිනිසා වියමන් නොකළ අතර ඔහු එහි එක් නූලකි. ඔහු ඒ දැලට යම් හානියක් කලොත් එය තමාටම කරගන්නා අවැඩකි. සියලුම මී හරකුන් ඝාතනය කළ විට කුමක් සිදුවේද? ....වඩා වටින්නේ දුම්රියද? බොහෝ මිනිසුන්ගේ සුවඳින් ගහන රහස් සඟවා ඇති වනන්තරේ කඳුකර දර්ශනය, කතා කරන වයර් මගින් මකා දැමූ විට කුමක් සිදුවේද? අන්තිම රතු මිනිසාත් අතුරුදහන් වූ විට ඔහුගේ මතකය තණපිටි මැදින් ගමන් කරන වලාගැබක සෙවනැල්ලක් වූ විට තවදුරතත් මෙහි මේ වනාන්තර පවතීද? කිරි දරුවෙකු මවගේ තුරුලට ආසා කරනවා මෙන් මිහිකත දරුවෝ වන අපිද මේ පොළොවට ආදරේ කරයි.

ඉතින් අප ඉඩම් ලබාගන්නවා නම් ඔබලා අප කළ අයුරින්ම සියලු දරුවන් වෙනුවෙන් දේශය ආරක්ෂා කර එයට ආදරය කරන්න. අපි ඒ ගැන සැලකිලිමත් වූ නිසා ඔබලාද සැලකිලිමත් වන්න. අපි භූමියේ කොටසක් ඒ නිසා ඔබද භූමියේ කොටසක්ය. කිසිම මිනිසෙකු ඔහු රතු වේවා, සුදු වේවා වෙන්ව සිටිය නොහැක. අපි හැමෝම සහෝදරවරුන්ය.

Tuesday, December 7, 2021

අතීතයෙන් අනාගත යෞවනයට ලියමනක්..

 



මිහිරෙන් බරවූ

ඒ සිහින මාවතේ

නව තාරුණ්‍යයත් ඇවිද යනවා

සඳ රැස් වැටෙනා හවස් පුරා

පෙර එදා ගියවුන් මෙන්

දෙකට බෙදුණු ඒ මාවතේ....

Thursday, November 25, 2021

කුමරියක පා සළඹ සැලුණා......

 

පිරිමියකුගේ දෙනෙතට දිව ඔසුවක් තමයි කාන්තිමත් කාන්තා රූසපුවක් නිමිති වීම. නිමිති වීම කීවේ හදි ගැහීම, ඇහැට හසු වීම. යාත්‍රිකයටත් ඉතින් ඒ කාරණය එහෙමම තමයි. ඒත් බවුන් වඩන, තපස් ජීවිතයකට කැප වූ ලෞකික ජීවිතයෙන් ඈත්ව වසන්නෙකුට කාන්තා රුවක් දර්ශනය වීම, දැකීම ඔහුගේ දිවි පෙවෙතට අවැඩක්. අපුලක්. ඒකයි බමුණෝ තමන්ගේ ගෝලයන්ට ශ්ලෝක වලින්ම කියල දුන්නෙ ගෑනු දැකීම විනාසයට කාරණයක් කියල, බමුණු ජීවිතයට.. (සමහරු මේක තේරම් ගන්න බැරුව හත්පොලේ ගාගෙන, කිපෙනවත් දැකල තියෙනවා යාත්‍රිකය නම්).  බුදුහාමුදුරුවෝ පවා භික්ෂුවකට අතේ දුරින් කාන්තාවක්, සිහියෙන් ඇසුරු කරන්න කියල කිව්වෙ ඒ නිසයි. මොකද රාග ගින්න ඇවිළුනොත් නිවනවා බොරු, සාගර ජලය ඉහලවත්...

ඒත් ඉතින් කවුරු කිව්වත් තපස් ජීවිත නොගෙවන අපි විරුද්ධ ලිංගිකය වෙත ඇදිල යන්නෙ පහන් දැල්ලට ඇදෙන මෙරුවො වගේ.. ගිහින් ජීවිතයම වනසගත්ත, නහගත්ත අයත් ඕන තරම්. ඒත් මේ විඳින, විඳවන රාගිතවූ ජීවිතයෙන් අඩු-වැඩි වශයෙන් වෙන් වෙච්ච කෙනෙකුට.. පිරිමියෙකුට කාම දාහය දැනෙන්න ගැනීම, පටන් ගැනීම කොහොම වෙයිද. ඔහුගේ සංසිඳුණු මනෝභාව සුංනද්දූලි වෙන, රළ බිඳෙන නිමේෂයේ සිතේ ස්වභාවය, සිතුවිලි වළ හැඩය කොහොම වෙන්න ඇතිද.. ඒ ගැන කතාකරපු ගීයක් තමයි ‘කුමරියක පා සළඹ සැලුණා’ ගීතය..

 


මේ මොහොතත් ඉතා විචිත්‍රවත් ලෙස කලාකරුවෙකුට, ගී තනු අමුණන්නෙකුට, චිත්‍රපට තනන්නෙකුට යොදා ගෙන අපූරු නිර්මාණ කරන්න පුළුවන් හොඳ නිමිත්තක්. ඒත් සත්‍යය දකින්න උත්සුක වන යාත්‍රිකයෙකුට එය ඇත්තටම බමුණෝ කියපු විදිහට විනාශයට කාරණයක්.......

 

තපස් දිවියක් ගෙවන, බවුන් වඩන පිරිමියෙක් එහෙම නැත්නම් කාමයෙන් වෙන්ව වාසය කරන්නෙක් හට හදිසියේ ඒ ගෙවන ජීවිතය තුළින් වෙනතකට ගන්නට, කාම සිතුවිලි අවුළුවා ලන්නට හැකි ස්ත්‍රී ලාලිතයන් දැකීමකින්, ඇසට හසුවීමකින්... සුළු දර්ශන මාත්‍රයකින්, නෙඟින් යොමන එක් බැල්මකින්, පුන් පියයුරු වල ඡායා මාත්‍රයකින් හෝ දිගැටි මනාව පිහිටි පා  යුග්මයකින් එය සිදුවිය හැකියි. එය මනාව පද වැලට එකතු කරමින් ගීතය ආරම්භ වේ. ඒ කුමරියකගේ පා සළඹ සෙලවීමකිනි. සළඹ සෙලවෙන්නේ නිකන් තරුණියකගෙන් හෝ ස්ත්‍රියකගෙන් නොවේ. කුමරියකගෙනි. කුමරියක් කී පමණින් අපට අදහස් වන්නේ සුකොමාල, කාන්තා ලාලිත්‍යයන් මනාව කැටිවුණු, ලතාවකට පැද්දෙන ඉඟසුඟ, හෙලන බැලුම්, ඔමරි පෑම් හෙළන ළඳක්ය. රූ සිරිය අනවශ්‍ය ලෙස තෝරා දෙන්නට පද නාස්ති නොකර සරලව එය පළමු පේලියෙන්ම පහදා දෙයි.

සමහර විටෙක මේ බවුන් වඩන්නා ඇය ශෘන්ගාරය මුසු නර්තනයක යෙදෙනවා අහඹු ලෙස දුටුවා වන්නට පුළුවනි. නැතිනම් ඇය ඒ ආකාරයේ තැනක සිට මේ තපස් ආරාමයක් අසලින් ගියා හෝ ගැවසුනා වන්නටද පුළුවනි.

බවුන් වඩන්නාට ඒ සිදුවීම තම තපස සිඳ බිඳ දැමීමට හේතු වෙයි. ඒ සුකොමාල ස්ත්‍රියගේ ස්ත්‍රී ලාලිත්‍ය තමා කාලක් තිස්සේ අමතක කර දමා, තපසින් වල දමා, කාමයෙන් මිදී ලබා ගත් සිතේ සමාධිය බිඳ වන්නකි. බවුන් වැඩු ඇස් දැන් ඒ දැක රාගයෙන් මත් ව සිටින මොහොතයි. තම ජීවිත අසපුව තුළ දකින්නට නොපැතූ දෙයක් හමුවට ආ මොහොත මෙයයි.

හංස යුවලක් වන්ව මනාව පිහිටි පියයුරු, හැඩැති නිතඹ - උකුල හා රහස් පෙදෙස පෙන්වාලමින්, ලෙළෙමින් ඇරයුම් කරයි ඇයගේ සළු පටවල්... රති වින්දනය පිණිස. සිතේ ලැගුම් ගෙන හුන් සමාධිය පලවා යවමින්.. උමතු රාග හැඟුමන් පුබුදුවා ලමින්. මොහොතකට සිතේ කා වද්දමින් මෙය නෙවෙදැයි තව්තිසා දෙව්ලොව කියා. එය රාගයෙන් උමතු වූ සිතකට සුන්දර යාමයකි. සුන්දරම මොහොතකි.

නමුත් මොහොතකට අසිහිවත් වුනු සිත ගැන, බවුන් වැඩූ ඔහු කලකිරීමකට පත්වේ. කුමක්ද මේ සිදු වූයේ.. ජීවිත අසපුවේ රාග ජාලා වන් සිතුවිළි යටපත් කරමින් ගෙවූ ඒ නිහඬ දිවිය, මානසික සහනය දැන් කොහිද..?. එය දැන් රාග ගින්නට අළුවී ගොස්ය. ලබා සිටි චිත්ත සමාධිය දැන් පහව ගොස්ය. මා ඒ අසපුවේ රැඳී සිට සොයමින් සිටි ඒ සුවය දැන් කෝ...

 

මේ අපූරු පද පෙළ අකුරු කරන්නේ K. D. K. ධර්මවර්ධන නමැති, යටගිය දක්ෂතා පරිපූර්ණ පදරචකයායි. ඔහුගේ පද රචනා පුරා වස්තු විෂය, යෙදෙන මොහොත, පද තෝරා ගැනීම, කථකයා වැනි තැන් ගැන මනාව දැන සිටි අතලොස්ස අතරේ කෙනෙක් නිසායි පරිපූර්ණ පදරචකයා ලෙස නම් කරේ. මේ ගීතයේ පද සංඝටනාවේ පවා එය මනාවට දැක ගත හැකි. ඒ වාගේම එයටම සරිලන සංගීත භාවිතාවක් යොදමින්, ගීතය ආරම්භයට පද පෙලේ යෙදුනු සළඹ, හඬද අපූරුවට ගෙන ආචාර්ය වික්ටර් රත්නායකයන් ඉතා ලගන්නා සුළු සංගීතයක් ලබා දී තිබේ. බවුන් වඩන්නෙක් ඒ සඳහා පෙළඹෙන්නේ බොහෝ විට මධ්‍යම වයසට ආසන්න තරුණ කාලයේය. මේ ගීතය ගයන මොහොතේ අමරදේව ශූරීන්ද ඒ වයසේ පසුවීමත්, භාවාත්මක හඬත් යන දෙකාරණයන්ම නිසා ගායනයද ඉතා උසස් තත්වයක ඇත. පරිපූර්ණ ත්‍රිත්වයක සංයෝගයෙන් නිමැවුණු ‘කුමරියක පා සළඹ’ ගීතය තවමත් යාත්‍රිකයාගේ බිඳුණු දැහැන් හා විඳපු සුයාමයන් මතක් කරවන්නකි....

Monday, October 18, 2021

ඇයද මව් නම් විය - 7 කොටස

 

මේ ඔයා අර කලින් කිව්වේ යාලුවෙලා හිටිය ගෑණු ළමයෙක් ගැන..

ඔව්... ඉතින් මොකටද ඕව දැන් හාරන්නේ. ආයේම

ඒක ගෙදර අයත් දන්නවද..

ඔව්.. ඔව්

ඒ කෙල්ලගේ තාත්තගේ නම සයිමන්ද..

මං දන්නේ නෑ.. දැන් ඇයි අහන්නෙ.

හරි.. හරි. මේ අපි ගමේ ඉඩමක් අරගෙන ගෙයක් හදමුද..

මොන පිස්සුද.. කොළඹ ඉන්න කෙනෙක් ගමේ යයිද.. ගමේ අයත් එන්න දඟලනවා කොළඹ.. මෙයා මේ පිස්සු කතා කරනවා..

මොකක්ද අනේ මෙහෙ තියෙන හොඳේ...

හරි ඉන්න..කෝ අපේම තැනකට යනකං. මෙහෙ පහසුකං ගමේ නෑනෙ අනේ..

මෙහෙ තියෙනව හැමදේම.. සල්ලි තියෙනකං. ඈ සද්දෙට කීවාය.

ඔයාට කේන්ති ගිහින්ද මණික.. අනේ ඉතින් ගමේ යන්න මට බෑ සුදු.. මෙහෙ ඉමුකො..

 

ඇය ඔහුට කැමැත්ත දුන්නේ මේ අහිංසක කම නිසාය. ඇරත් ඔහු මෙන් ඇයද අහිංසක යුවතියකි. ගමේ පන්සලේ දාන සාලාව හදන්න ආ අය අතරට ඔහුගේ පැමිණීමත් සමග හාදකම ඇතිවීමට මුලපිරිනි. ඒ ඇය හැම පොහොයකටම, ඉරිදාවකටම, බණකට, පිරිතකටම රංගිගේ නංගිත් සමග පන්සලට යන නිසාවෙනි. කිසිම පිරිමියෙකු සමග කතා නොකරන ඇය ඔහු සමග කතා කරන්නට පටන් ගත්තේද මේ ඔහුගේ අහිංසක කම නිසාවෙනි.

 

*********

නංගි මේ ළඟ වෙළුම් පටියක් ගන්න තැනක් නැද්ද.. ඒ ඔහුගෙන් ඇයවෙත ආ  මුල්ම ඇමතීමය. නමුත් එය ගණන් නොගෙන සිටින විටදී කතාවට ඉදිරිපත් වූයේ රංගිගේ නංගිය.

නෑ අයියෙ.. හන්දියේ කඩේ විතරයි තියෙන්නේ..

ලඟම පාර මේ මහපාර විතරද..

නෑ අර වැව් බැම්මෙන් පහලට ගියහම දකුණට කඩේ ලඟයි.. එලෙස ඇය හඬ අවදි කළේ ඔහු කුමක් හෝ අකරතැබ්බයකට පත්ව ඇතිබව පෙනුණු නිසාත් නංගි පාරවල් නොදන්නා නිසාත්ය.

මොකටද වෙළුම් පටි...

අර පහළ කන්ඩියට පය තියන කොටම බෝතල් කට්ටකට ගියා කකුල..

ආනේ හුඟක් ලේ යනවා... රංගිගේ නංගි කෑ ගසා කීවාය.

ඔහොම ඉන්න.. නංගි ගිහින් අර පන්සලේ ඉන්න බණ්ඩා මාමට එන්න කියන්න.

කමක් නෑ.. මේ ටික මං යන්න

කෝ ඔයත් එක්ක වැඩට ආපු අනිත් කට්..ටිය..

එයා..ල මේ මේ ළඟ කසි..ප්.පු.. පෙරන තැනක් තියෙනව කියල ගියා

පන්සලේ වැඩට ඇවිත් බීල හරියනවද..

 

ඒ ඔවුන් දෙදෙනාගේ ප්‍රථම හමුවීමය. එයත් හුදු අහම්බයකි. ජීවිතයම අහම්බයක්ද නැතිනම් දෛවය කියා දෙයකින් මිනිසුන් හසුරුවනවාද යන්න හැම මොහොතකම ඇයව නිරුත්තර කළ ප්‍රශ්නයකි. ජීවිතයද උත්තර නැති ප්‍රශ්න වැලකි. එසේනම් දෛවය කියා කලින් සැලසුම් වූ හෝ සැලසුම් කළ දෙයක් ලෙස තිබිය නොහැකිය. සමහරෙක් විට දෛවයද අහම්බයක් වන්නට පුළුවනි. නැතිනම් අහම්බය දෛවය වන්නටද පුළුවනි. මේ කුමක් හෝ තමා, මියගිය සැමියා, තම දරුවාද, රංගි, සීතා, තම දෙමව්පියෝ ඇතුළු සැම එහි හිරවී සිටිනා ඉත්තන් මෙන් දිස්වන බව ඇය තේරුම් ගත්තාය.

 

නංගි ඔයාල හැමදාම වගේ එනවද...

නෑ ඉරිදාටයි, පෝයටයි නම් එනව.. අනිත් දවස්වල අක්කට හිතුනොත් තමා.. රංගිගේ නැගෙණිය පිළිතුරු දුන්නාය.

එදා කරපු උදව්වට ගොඩක් ස්තූ..තියි..

දැන් කකුල හොඳයිද..

ඔව්.. ඔ..ව්. නංගිලා මේ ලඟද

ඔව් අයියේ පහළ කුඹුරෙන් එහා.. නැවතත් රංගිගේ නැගෙණිය පිළිතුරු බැන්දාය.

මේ නංගිගේ නම මොක..ක්..ද

මේ නංගි යං හවස පුජාවත් පහු..වෙයි.. කියා ඇය නැගෙණියවත් අල්ලාගෙන යන්නට පටන්ගත්තාය.

ආ.. පරිස්සමින් යන්න නංගි බුදුසරණයි..

බුදුසර..ණ..යි අයියේ. යනවා.. කියා රංගිගේ නැගෙණිය යනින් ගමනින් කෑ ගසා කීවාය.

කෑ ගහන්නැතුව එන්..න නංගි


ගමේ පන්සල

චායාරූ අන්තර්ජාලයෙනි


Sunday, October 17, 2021

ඇයද මව් නම් විය - 6 කොටස

 

අලුත් ගවුමක්...

ඔව් බං ඊයේ ළමයි දෙන්නටයි, මටයි ඇඳුම් ගත්ත..

හ්ම්..

උඹ මොකද ඇද වෙලා.. මං දන්නවා උඹ හිතන එක....

එහෙම එකක් නෑ.. මං කල්පනා කරේ ගමේ යන්නේ කවද්ද කියල.

හ්ම්.. මං හිතුව උඹ මං ගැ...න..

මං මොනා හිතන්..නද...

මොනා කරන්නද බං.. මං කෑදර කමකට මෙහෙම කරනව නෙමෙයිනෙ.. පොඩි උන් දෙන්නව ඇඳුම් ගන්න එක්ක ගිහාම මටත් එකක් ගන්න කියල පොරේ.. බැරිම තැන ගාන අඩුවට තිබ්බ මේක ගත්ත...

හ්ම්.. ඔය හොඳට තියෙන්නේ.

තියෙනව ඉතින්..

ඔය කෙනා දැන් ගෙදර තියෙන තැන දන්නේ නැද්ද..

දන්නව.. ඒත් එන්නෙ නෑ. මිනිහට ඕන උනහම විතරක් ඉතින් වැඩ නැති දවසට දෙතුන් සැරයක් කෝල් කරනව..

කොහොමද ඔයාගේ නම්බර් එක දන්නෙ..

ඇයි බං මං කිව්වේ වැරදිලා ආපූ කෝල් එකකින් සෙට් උනේ කියල.. මටත් වෙන කරන්න දෙයක් නැති කමට නංගියෝ... සල්ලි නැතිම කමට ඉ..ති.න්..

අක්කල දැන් ඉන්න ගෙදර කාටද අයිති..

අරුට තමයි..

අයෙ කතා කරල බැලුවෙ නෑ..

කාටද අරුටද.. ආයෙ කතා කරන්නෑ...

එත්...

 

ඇයට තම සැමියාගේ ගෙදර ගෙවූ කෙටි කාලය මතක් විය. නිතරම සරදම් කරනා නැන්දම්මා, වැඩිමල් නැගෙණිය හා බීගෙන ගෙදර එන පියා. ඇයට ආ මුල් දිනවල අපායකට පැමිණියා සේ දැනෙන්නට වුවාය. කාමර දෙකත්, කුඩා සාලය හා කුස්සියත්, වැසිකිලියට යන්නට තිබෙන කුඩා මාර්ගයත් දැක ඇයට සිහි එලවා ගැනීමට මොහොතකට අපහසු විය. සැමියා සමග නිදියන්නට වූයේ පැදුරුකඩක් එලාගත් සාලයේ, පියා නිදාගන්නා තැනට ටිකක් එහායින් වෙන්නටය.

 

මේ ටිකේ මෙහෙම ඉමු හොඳේ.. ලබන මාසේ විතර කාමරයක් ගමු කුලියට..

කාම..ර.යක්.

ඔව් .. කෝ ඉතින්.. එන්න.

අ..නේ මේ. තාත්තත් මෙත..න එහාට වෙන්නකෝ

හරි හරි එයාට හොඳටම වෙරි..  කාමරේ ගත්ත දවසට අපි දෙන්නට විතරක් තනියම ඉන්න පුලුවන්..

 

කාමර..ය.ක්.. ඇයට ප්‍රහේලිකාවකි. හතර දෙනෙක්ට මේ පොඩි ගෙයත් මදි තැන තනි කාමරයක් දෙදෙනෙකුට අරගෙන කුමක් කරන්නද?. කෑම උයන්න, ඇඳුම් අඳින්න, නිදා ගන්න යන සියල්ලටම එක කාමරයක්, බිත්ති හතරකින් වටවූ එක් තැනක්... ඒ මදිවට දැන් තවත් කෙනෙක් මෙලොවට එන්නටද නියමිතය. මේ සියල්ල මතක් වී ඇය සාලයේ සැමියා සමග නිරුවත්ව අසිහියෙන් මෙන් සිටියේ පියාද වෙරි මරගාතේ දඟලමින් සිටියදීය.

**********

හොඳයි. පොඩි නෝනා හාමු නැගිටින වෙලාව..

නෑ.. අම්..මේ පොඩ්ඩක් නින්ද ගියා

ඔව් ඉතින්. මහ රෑ වෙනකන් වැඩනේ මේ ගෙදර..

හුම්... මං ඕව සුද්ද කරන්නම්. අර ටික හෝදලා දාන්නකෝ. සැමියාගේ වැඩිමල් සොයුරියද කතාවට හිනාවෙමින් ඇයට වැඩ පවරයි.

අම්මේ මං යනව...   මේ  මං යනව හොඳේ..

ඔහොම ඉන්න ළමයෝ කාල පලයන්..

කන්න ඉතින් තාම උයල නෑනෙ..

කට්ටියට ඉතින් වැ..ඩ.නේ. තවමත් සහෝදරිය පහු වී අවදිවීම ගැන ඇනුම්පද කියයි.

කෝ උඹ තාම හෝදලා ඉවර නැද්ද.. අතගානව මෙතන. අපේ එකත් ගොන් නාම්බනෙ.. අර සයිමගේ කෙල්ලව අතෑරලා වෙන ඒව හොයන් ගියා.. දැන් ඔය හම්බෙලා තියෙන්නේ..

 

ඇය ගමෙන් ඔහු සමග ආවේ මෙවන් දෙයක් සිහිනෙකුඳු බලාපොරොත්තු නොවෙමිනි. දැන් ඉතින් කුමක් වුවත් ආ තැනට හැඩගැසීමට සිදුවේ. ඇනුම් බැනුම් අසාගෙන ඉන්නට සිදුවේ. සැමියාට ගතු කියාද පලක් නැත. එයින් වන්නේ තවතවත් ගැට‍ළුව දුරදිග යෑමය. මේ ගෙදරින් යනකං සිදුවන හැමදෙයක්ම විඳදරා ගෙන නිහඬව සිටීමට ඇය ආ දිනයේම සිත හදා ගත්තාය. ගැටුමකට යනවාට වඩා සාමකාමීව ගැට‍ළුව විසඳෙන තුරු සිටීම නුවනට හුරුය.


චායාරූ අන්තර්ජාලයෙනි


Saturday, October 16, 2021

ඇයද මව් නම් විය - 5 කොටස

 

සෙනසුරාද සහ ඉරිදා දිනවල ඇය වැඩට නොයා දරුවා බලාගැනීම සඳහා කුලී නිවසෙ රැඳේ. මෙවන් සමහරෙක් දිනවල දවල්ට කඩයකින් කා දරුවා සෙල්ලං කරන්නටද රැගෙන යෑමට ඇය පුරුදුවී සිටියාය. සෑම සති අන්තයකම එය කරන්නට නොහැක්කේ වියදම වැඩි නිසාවෙනි. කුලී නිවසෙ රැඳී සිටිද්දී වයසක ජෝඩුවගේ කතාවෙන් බේරීමට ඇයට බැරිවේ. ඔවුන් දෙදෙනාගේ දරුවන්ද ලොකුමහත් වී පිටරට රැකියාවල නිරතව සිටිනා අතර අවුරුද්ද අවසානයේ ලැබෙන නිවාඩුවට පමණක් පැමිණේ. ඒත් වැඩි හරියක්ම ලංකාවේ තිබෙන දේපළවල තත්වය බැලීමට වාගේ යැයි ඇයට නිතර සිතෙයි. සල්ලි එවන්නේද වැඩිමහල් දියණිය පමණි. එයත් මාස තුන හතරකට වරකි. නොලැබෙන වාරද බොහෝය. ඉරිදා දිනවල උදේ වරුවේ දුරකථනය අසල රැඳෙන මහලු කත දහවලට එයින් ඈත්ව රූපවාහිනිය කර යන්නේ "දෙන්නම වැඩ වෙන්න ඇති.. කොහෙද ඉතින් ලොකු තානාන්තර ඉහිලුවම කන්න බොන්නවත් වෙලාවක් තියෙන එකක් ඈ.." කියා සිත සාදා ගනිමිනි.

 

ඈ ළමයෝ, දැන් ඔය ළමයගේ වයස කීයක් වෙනවද..

තාම 21යි..

හ්ම්.. ආයේ බඳින්නේ නෑ?..

න්..නෑ ඇන්ටි..

හ්..ම්. ලමයව ඉතින් ඔහොම තනියෙම බලාගන්න පුලුවන්ද හැමදාම.. අනික රස්සාවක් කරකර..

පුතා ඉස්කෝලේ යන්න ගත්තහම ඩේ-කෙයා එකකට දාල වැඩට යන්න හිතන් ඉන්නේ..

ඔව් ඉතින් එහෙමත් පුළුවන්.. මෙහෙ ඉතින් දිගටම ඉන්නත් බැරියැ. මොකෝ ඉඩ නැති එකක් ඈ..

හ්ම්...

ඔය ළමය මේ මාසේ කුලිය දුන්නද ළමයෝ..

ඔව් ඇන්ටි.. දුන්න.

කොහි.. මතකයක් තියෙන එකක් ඈ..

හ්.ම්..

ගිය සැරේ ක්‍රිස්මස් එකට ලොකු පුතා ගෙනත් දුන්න tv එක නිසා හොඳයි. නැත්තං ඉතින් මොනා කරනද.. දවසම බුදියගන්න කියල ද. හොඳම වර්ගයේ එකක්.. ඒත් මං ගේන්න එපා කියලත් කිව්ව. කෝ ඇහුවද. දුවනම් ඉතින් හැම සැරේම චොකලට් පෙට්ටියක් එවනව.. ගිය සැරේ එවපුව වටේට බෙදල ඉතුරුත් උනා. චූටි පුතා තමා අර කෝපි මැෂිම ගෙනත් දුන්නෙ. නිකාන් සල්ලි වියදං කරනවනෙ.. මේ සැරෙත් මොන මොනා උස්සගෙන එයිද මන්ද..

මේ මහලු කාන්තාව තමාටත් වඩා අසරණ බව විටෙක ඇයට සිතෙයි. දරුවන් ගෙනත් දුන් දේවල් බල බලා සතුටුවන අතර බලා කියා ගන්න ඒ අය ළඟ නැති නිසා ඇතිවන සාංකාවට කා හටවත් දොස් නොකියයි. නිතරම ඒ අය ගැන සිතමින්ම තවතවත් දුකට පත්වෙමින් ඒ අය එනතුරු මග බලා හිඳී.

ගෙවල් පැත්තේ එහෙම ගිහින් එන්න හිතක් නැද්ද තාම ළමයෝ..

යන්.න..ත් ඕන.

මොනා උනත් ඉතින් බලං ඇති එනකං... කියමින් මහලු කාන්තාව තම සිතේ තිබූ සිතිවිලිද කියා දැම්මා වන්නට පුළුවනි.

 

ඇය ගෙදරින් කතාකළ මනමාලයාට අකමැතිව තම පෙම්වතා සමග ගෙදරටත් නොකියාම ආවේ වෙනින් කරන්නට දෙයක් නොමැතිම තැනය. දැන් කබලෙන් ලිපට වැටුණා සේ, පත්ව ඇති තත්වයට දෙමාපියන් වග නොකිවයුතු අතර ඔවුන් බැලීමට කවදා හෝ යා යුතු බව ඇයගේ සිත නිතරම කියයි. තමන්ට සිදුව තිබෙන අකරතැබ්බය ගෙදරට ආරංචිව ඇති බව ඇය දැනී. ගිය දිනයක එයට අසන්නට වන නොහොඳ නෝක්කාඩු කතා ද බොහෝ වන්නට පුළුවනි. අම්මත්, තාත්තත්, අක්කත් සමග ගෙව් ගමේ ජීවිතය මෙයට වඩා දුක් කම්කටොලු වැඩිද අඩුද කියා කිරා මැනා බැලීමට ඇයට නොහැකිය. දෙකෙහිම එක සමානව දුක තැවරී ඇත. එහෙත් ගමේ තිබූ හිතේ නිදහස මේ ගෙවනා කොළඹ අව්වේ කිසි දිනෙක ඇය අත්විඳ නැතිවාය. කුමක් හෝ කා හෝ නොකා හෝ හිතේ නිදහසින් වැටී සිටීමට ගොම ගෑ පොළොව ඇත. හිසට ඉහළින් පොල්අතු සෙවිලිකළ වහල ඇත. දැන් කුලියට, පරාල යෙදූ ෂීට් වහල ඇත. කුලිය ගෙවීමට නොහැකි දවසක හිස් අහසේ පිහිට පමණි.

 

අම්...මෙ. බඩ..ගි.නි.

යං පුතා අම්මත් එක්කම කමු..

දවල්ටත් සම්බෝලයි, පරිප්පුයිද...

යං පුතා tv එක බල බල කන්න හොඳේ..

දවල්ට කාටුන් නෑ..නෙ

හරි දැන් යන් එකක් බල බල කමු...

මට ඇති..

Thursday, October 14, 2021

ඇයද මව් නම් විය - 4 කොටස

 

පුතා අද මොකද මොන්ඩිසොරියේ කරේ..

මල් ඇ..න්ඳ. කතා ඇහුව...

මුළු දවසම එච්චරද කරේ..

කෑවා. අමායා එක්ක සෙල්ලංකරා... අම්..මේ උත්සවේට සල්ලි දෙන්නේ කවද්ද කියල ලොකු ටීචර් ඇහුව..

හ්ම්.. පුතූ ඔයාට ඔය උත්සවේට යන්නම ඕන..ද

අමායාත් යනවනෙ අම්මේ..

ඔයාට එක යාලුවද තාම ඉන්නේ ආ.. හැමදේටම අමායා.

අම්ම..ට යාළුවො කීයක් ඉන්නවද...

 

පාසල් යන කාලේ ඇයට හිටිය හොඳම යාළුවා රංගිය. රංගි ඇරුණු කොට ඇයට යහළුවෝ යයි කීමට හිටියේ රංගිගේ නැගෙණියත්, තම වැඩිමහල් සහෝදරියත් පමණි. එතරම්ම ඇය ආශ්‍රය කරන පිරිස අල්ප විනි. රංගි කසාද බැඳ පිටරට යෑමත්, තම සහෝදරිය අනුරාධපුර තම සැමියාගේ ගෙදර වාසයට යෑමත් සමග ඒ ඇයිහොඳයිකම්ද ඇයගෙන් දුරස් විනි. දැන් තම දරුවාද තම ආරයටම හැඩගැසෙනවා නේදැයි ඇයට සැකයක් ඇතිවිනි. එහෙම ඉන්න එකත් එක අතකට හොඳයි... යනුවෙන් සිත සිතා සිටිද්දී උත්සවයට දෙන සල්ලි හොයා ගන්නේ කෙසේදැයි මතක් වී ඇයට දෙලොව රත්විය. දරුවා උත්සවයට යෑමට දැඩි කැමැත්තක් දක්වන බැවින් නොගොස් සිටීමටද බැරිය. ඒත් සල්ලි සොයා ගැනීමට කිසිඳු මගක්ද නැතිය.

චායාරූ අන්තර්ජාලයෙනි


 

ඈ බං උඹ තාම රස්සාව කරත් හරි ඇඳුමක් ගත්තේ නෑ නෙ..

ඕවට කොහෙ තියෙන සල්ලිද....

වැඩක් නෑ බං කියල.. එහෙන් පොඩි එකා කියනව ඌට අලුත් සපත්තු දෙකක් අරං දෙන්න කියල. දුව කියනව ගවුමක් මහල දෙන්න කියල.. උන්ට තේරෙන්නෙ නෑ සල්ලි හොයන්න අපි විඳින දුක...

එතකොට අයි..යා..

එන පාටක් නෑ. ළමයින්ටත් දැන් ගානක් නෑ... පොඩි එකානං ඉස්සර නිදියගන්නකොට මතක් කරනව.. එච්චරම තමයි. උන්ගෙ අම්මලටත් කිසි ගානක් නෑ.. ඔය මට බැන බැන ඉන්න තිබ්බොත් උන්ට ඒ ඇති.

සල්ලි එව්වෙත් නැද්ද..

කොහි.. ඇයි අරකිට පුදනව ඇති ඔක්කොම....

එතකොට අර දෙන්න තිබ්බ පොලී සල්ලි හොයා ගත්තේ කොහොමද.

උ..ඹට කියන්න දෙයක් තියෙනව බං. ඒක මං පස්සේ කියන්නම්කෝ....

 

ඒ කතාව මොකක් වන්නට පුළුවනිද.. සීත අක්කටද තමාට මෙන් මුදල් අවශ්‍යතාවයක මිස වෙනත් සබඳකමක අවශ්‍යතාවක් තිබෙන්නට බැරිය. එහෙත් එදා බයික් එකකින් සීත අක්කාව හමුවන්නට ආ පිරිමියා කවුද?. සීත අක්කා වෙනත් කෙනෙක් සමග පැටලී ඇත්නම්... හමුදාවේ සැමියා මෙය දැනගතහොත්... කුමකින් කුමක් වේද කියා සිතද්දී ඇයගෙ සිත මහත් ලෙස කැළඹිනි.

******

 

මේ උඹ අර කියපු දේ ගැන මොකද හිතන්නේ...

අම්..මෝ. ඊට වඩා හොඳයි හිඟා කනව..

හිඟා කන්නත් පුළුවන් බං. පිනකට කැමති උන් ඉන්නවනම්... හැම එකාටම ඕන අපෙ රීරිමාන්සෙ කන්න..

ඒ වගේද ඕවට ගිහින් අහු උනොත්...

අහුවෙන්නේ කවුද බං..

ඒ උනාට අම්..මෝ...

මොනා කරන්නද බං.. දරුවෝ දෙන්නට කන්න දෙන්නත් එපෑ.. මොකෝ බඩකින්නෙ තියන්නද. මනුස්සය කියන එකා දැකල නෑ හත් අවුරුද්දකින්. හැදුවනම් උස්මහත් කරන්නත් එපෑය... සීතා අඬමින් කීවාය.

මොකෝ අක්ක සුපවයිසර් බැන්නද.. ඒහා සෙක්ෂන් එකේ සිටි කොල්ලෙක් යනින් ගමන සීතාගෙන් ඇසුවේය.

කවුරු බනින්ද බං... කෝ උඹේ නංගි... ආවේ නෑ.

නෑ. ගෙදර ගියා අම්ම ලෙඩ වෙලා..

හ්ම්.. හැම කෙනාම මොකක් හරි ප්‍රශ්නෙක... ඇය කාටත් ඇසෙන නොඇසෙන සේ  කීවාය.