Monday, January 24, 2022

ඇයද මව් නම් විය - 12 කොටස (නිමි)

 

රූපය අන්තර්ජාලයෙන් උපුටගන්නා ලදී

"තාම මේ මාසේ කුලිය දුන්නෙත් නෑ නේද මේ ළමය.."

"අපිටත් මේ ටිකේ අමාරුයි ළමයෝ.. දරුවො දෙන්නටත් එන්න විදිහක් නෑ.. ඒ ගොල්ලොන්ටත් ඉතින් වැඩ රාජකාරිනෙ.."

 

"කොන්සට් එකේ ඇඳුම් මහලත් ඉවරයි.. අම්ම සල්ලි දෙන්න ඕන මහන කෙනාට... "

"අම්ම.. උත්සවේට තව දවස් තුනයි.. හෙට හරි අනිද්දා හරි සල්ලි ගෙවනව නෙ..."

"අම්..මේ. හැමදාම කන්න තියෙන්නෙ මේවා විතරද.."

 

"පිටින් එන අයට ළඟ ඉඳලම රෑ ශිෆ්ට් ඒකටත් ඉන්න වෙයි”

"භාහිරින් වැඩට ගන්න අය අඩු කරන්න තීන්දු කරල තියෙන්නෙ.. උඩින්. දැන්ම ගාමන්ට් එකෙන් ආවොත් ගන්නම්.. නැත්තම් කවද ගෙදර නවතින්න වෙයිද දන්නේ නෑ.. "

 

"අඩු ගානට වී හෙට්ටු කරන නිසා හම්බෙන්නෙත් දැන් සොච්චමයි.. ගිය කන්නෙත් වගාවක් හරියට නෑ"

"දැන් තාත්තට ඉස්සර වගේ එච්චර මහන්සියෙන් වැඩ කරන්නත් බෑ කෙල්ලෙ.. ඒ නිසා පොඩි එකත් දැන් ඉඳල හිටලා කුඹුරට එක්කං යනව"

 

මේ හැම සිරවීමකින්ම... ගැලවීමට ඇයට පෙනුණු, වැටුණු පාර අගාධයකි. නරකාදියකි. ඇය එයට දැන හෝ නොදැන පියවර තැබීය. තම දෙමව්පියන්ට, සහෝදරයාට උදව් කිරීමට, දරුවාට හා තමාට ජීවත් වීමට ඇය අකමැත්තෙන් වුවද ඒ තීරණය ගත්තාය. ඇය මැව් සිහින ජීවිතය හමාරවූයේ ඔහුත් සමග කොළඹ ඔහුගේ නිවසට ආ දවසේමය.

 

"අපි ගමේ තියෙන තාත්තලාගේ ඉඩමක පොඩි ගෙයක් හදන් එහෙ පදිංචි වෙමුද"...

"මොනාද අනේ.. බලන්න ලෙඩක් හැදුනහම බේතක් ගන්න හරියට තැනක් නෑ. මතකනෙ මට ඔයාලගේ ගමේ කකුල කැපිල වෙච්ච දේ. බස් එකක් අල්ල ගන්න පැය ගානක් ඉන්න ඕන. ඒ මදිවට මෙහෙ වගේ එක කඩයක් තියෙනවද. ලයිට් තියෙනවද.. ඔයාම කියන්න. කොහොම ඕවයෙ ඉන්නද අනේ... අපි ටික දවසක් මෙහෙම ඉඳල මං කිව්ව අර බෝඩිමට යං"

ඔහු නිතරම කී සැටි ඇයට දැනුදු මතක් වේ. නිතරම ඔහු කොළඹ ජීවිතයේ සැප පහසුව, දියුණුව ගැන කියමින් ඒ කතා මගහැර දමයි. ඒ ඔහු කුඩා කළ සිට හුරු පුරුදු වූ පරිසරය කොළඹ නිසා වෙන්නට පුළුවනි. නමුත් ඇය දැන් සැමියා නැතත් නගරයට වී සිටින්නේ මන්දැයි ඇයම නොදන්නිය. සමහරෙක් විට ඇය මේ කොළඹ හමනා චණ්ඩ සුළඟට හසුවූවා වන්නටද පුළුවන.

 

දැන් ඒ සියලු කතා අතීතයට ගොස් හමාරය. ඒ වෙනුවට ඔහුගෙන් ලැබුණු දරුවාත් සමග ඈ ඔහු කිව් ඒ බෝඩිම් ජීවිතය විඳිමින්, විඳවමින් සිට මුදලට විකිණෙනා එකියකි. ජීවිත් වීමට මුදල අත්‍යවශ්‍ය නිසා එය සපුරාගැනීමට විකිණෙනා එකියකි. ගමෙන් නගරයට අවුදින් ජීවිතය වරදාගත් එකියන් අතර එකියකි. ලිඳට වැටුණු එකා ළිං කටෙන්ම එන්නට ඕනෑ කියන්නා සේ ඈ කොළඹ අව්කාෂ්ට ජීවිතේ ජීවත් වීමට ඊට සරිලන අකාරයේ රැකියාවකට යොමුවුවාය. ගමේ ගෙව් ඒ නිදහස් ජීවිතය ගැන දැන් හාන්කවිසියකවත් ඇයට මතක නැති මුත් ගමට නොවරදවාම මුදල් යැව්වාය. ඒ සරල නිදහස වෙනුවට හිසමත අද මහා බරකි. මේ ඇය ගෙවන්නේ, ගෙවෙන්නේ ඇයගේ හොඳම වයසය. තරුණ අවදියය. තරුණ අවදියේ මේසා බරක් දරා සිටීම ගැන ඇය පැසසුම් ලැබිය යුතුය. නමුත් දැන් ඇය දොස් නගන රැකියාවක නිරතවෙමින් ඒ තරුණ වයස ගෙවා දමමින් සිටින්නීය. තම දරුවා වැඩිවියට උස්මහත් වෙද්දී ඇතිවන තත්වයද ඇය නොදන්නවාම නොවේ. ඒ වාගේම අවට සමාජයෙන් ඇතිවීමට හැකි අවලාද, අපහාස, ගැටළු ගැනද ඇය නොසිතුවාම නොවේ. ඒ සියල්ල දරා ගනිමින් ජීවත් වීම ඇත්තෙන්ම පැසසුම් ලැබිය යුතු නොවේද ..?.

 

නිමි-

Saturday, January 22, 2022

ඇයද මව් නම් විය - 11 කොටස

 


උඹ ගෙදර ගිහින් මුකුත් ගෙනාවේ නෑ....

මොනා ගේන්නද අක්කේ..

මේ තාත්ත එහෙම කතා කලාද.. මොකෝ දෙන්න කිව්වේ.. බැන්නද.

අම්මනං ඉතින් කෑ ගැහුව... තාත්ත කතා කලේ නැති තරං..

 

ආ කතාව නවත්ත ගත්තොත් හොඳයි.. සීත උඹ දැන් OT කරන්නේ නැද්ද.. මොකෝ ආයෙම මිනිහ සල්ලි එවන්න පටන්ගෙනද... නැත්තං හම්බෙන වෙන විදි තියෙ..න.වද. කියා සුපවයිසර් තැන සීතාට ලංවී ඇසුවේය.

මේ.. ඔයාවත් එන්නකො රෑ වැඩට. කවුරුත් නෑ අනේ රෑට..

මොක..ක්.ද සර්..

රෑ වැඩට ඉන්න බැරිද කියල ඇහුවෙ.. හැමදාම ඉතින් පුතා ළඟ ඉන්නත් බෑනෙ.. අනික අතට වැඩිපුර ගානකුත් හම්බෙන එකේ නේද සීත.

ඉන්න පුලුවන් නිසා නෙ ඔය ඉන්නේ සර්.. සීතා තමාට එනකන් සිටි අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් උස් හඬින් කීවාය. මුහුණ හතරැස් කරගත් සුපවයිසර් සිනාසෙන ඇය හා සීතා දෙස මොහොතක් බලා සිට යන්නට විය.

උඹ එහෙම කිව්වහම මිනිහගේ මුණ පුස්වෙලා ගියා..

කොහොමත් ඕකට තියෙන්නේ පුස් මුණක්නෙ.. උදේට දැක්කොත් ඉවරයි.

ගෑනි කොහොම ඉන්නවද මංද..

ගෑනිත් මූත් එක්ක ඉන්නේ නැති නිසා මෙහෙ කෙල්ලන්ට ලයින් දානව.. සෙවලය. මට ඕකව පෙන්නන බෑ..

ගණන් ගන්න එපා..

මේ ඒක නෙමේ, කිව්වත් වගේ දැන් උඹ ඔය සල්ලි, ඉස්කොලේටයි බෝඩිමටයි දෙන්න තියෙන ඒව.. කොහින් හොයන්නද.. උඹ ගෙදර ගියේ අම්මලාගෙන් ඉල්ල්නද..

 

අනේ නෑ අක්කේ.. ආයෙ ඒගොල්ලන්ට කරදර කරන්න මං කැමති නෑ. දුන්නු වද මැදෑ.. කියමින් ඇය වැඩ ඇරී ගෙදර යන මග දිගටද කල්පනා කළේ පෙර පාසල් උත්සවයට ලබා දීමට අවැසි මුදල් සොයා ගන්නේ කෙසේදැයි කියාය. නැවතත් ගමට යන්නට කොහෙත්ම බැරිය. ගමේ ජීවිතය සිතින් දියවී ගොස් නගරයේ ගුඪ ජීවිතයට මුහුවී හෝ මුහුවෙන්නට කැමැත්තක් සිතේ ඇයටත් නොදැනීම ඇතිවී ඇත. දරුවා පෙර පාසල් නොයවා ගෙදර තියාගෙනත් බැරිය. තියා ගන්නට විදියක්ද නැත. කුමක් කරම් දැයි විවිධ සිතිවිලි අතරේ අතරමංව සිටි ඇයගේ සිතට හදිසියේම ආවේ එක් දිනක් පෙර පාසලේ ගුරුතුමිය කළ යෝජනාවය. සල්ලි හම්බ කිරීමට නොකරන දෙයක් මේ පොළොවේ අය ළඟ නැත. මව මරා හෝ දේපළ තමන් සතු කරගැනීමට වලිකන අයද, බිරිඳ උගස්කර හෝ සල්ලි හම්බකිරීමට උත්සහ කරන අයද මේ කොළඹ නැතුවා නොවේ. එහෙව් එකේ මෙවන් රැකියා කර හෝ තම ජීවතය ගැටගසා ගන්නා කාන්තාවන් අනන්තවත් මේ කොලොම් තොටේ නොඅඩුව සිටිනා බව ඇය හොඳාකාරවම දැනී. ඒ බව පුවත්පත්වලින් හමුවන ලැගුම්හල්, ස්පා දැන්වීම්වලින්ද මනාව ඔප්පුවේ. ලංකාවේ මෙතරම් නවාතැන් නැති අය සිටිත්ද? මේ තරමටම සම්බාහනයට කැමති අය සිටින්නට පුළුවනිද?.. එක අතකින් අහන අහන කෙනා ළඟ සල්ලි නැත්තෙත්, මෙවන් තැන්වල හා මත්පැන් හල් ඇතුළු සියලුම දුසිරිත් වඩවන තැන්වල ගැවසෙන්න හින්දාද.. හැමදෙනාම මේ දුසිරිත්වලින් සන්තර්පණය වී මුදල් නැති නාස්ති කරගන්නා අයද... මෙවන් දහසකුත් සිතුවිලි මැද ඇය කුලී නිවාස කරා මහත් මානසික විඩාවකින්ද, හවස පවා වදදෙන හිරු රශ්මියෙන් ඇතිවන ගතේ විඩාවකින්ද පෙළෙමින් පැමිණියාය. සිතුවිලි සයුරේ ගිලී එලෙස එන ගමනේ පාරේ යන වාහන වලින් ඇය නොගැටී බේරුනේ අනුනමයෙනි.

 _______________________________

 

කන්න මේ කටත්.. කෝ අන්තිම කටවල් ටික. පුතා..

ඇති අම්මේ..

මේ පුතා. අර එදා අපිත් එක්ක කතා කරපු ටීච ආයි මොනා හරි ඔයාගෙන් ඇහුවද..

කවුද අම්මෙ.. අර සුදු උස ටීචද..

ඔව්.. එදා මං ඉස්කෝලේ ආපුහාම කතා කරේ..

ඇහුව.. ඉන්නේ කොහිද.. අම්ම තාම වැඩට යනවද කියල

ඔයාලට ඒ ටීච උගන්නන්න එනවද...

නෑ.. ටීච ඉන්නේ ඒහා පන්තියේ..

ආයේ ඒ ටීච දැක්කොත් මගඇරල ඉන්න හොඳද පුතා..

 

පෙර පාසල් ගුරුවරිය ගෙදර සොයාගෙන එන්නටද බැරි නැත. ලිපිනය කාර්යාලයෙන් ලබා ගත හැක. ඒ මදිවාද ඇයගේ ළඟ තම කුලී නිවසෙ දුරකථන අංකයද ඇත. මේ කඩා පාත්වූ කරදරය කුමක්ද යැයි ඇයට සිතා ගැනීමට නොහැක. සල්ලි සෙවීමට මෙවන් ක්‍රමයක් කියාදෙන ගුරුතුමියක් කෙසේ නම් ළමයින්ගේ දෑස් පාදන්නද. අනාගයේ යා යුතු මග කෙලෙස මේ දරුවන්ට කියා දෙන්නද. තම පාසල් කාලයේ ඉගැන්වූ ගුරු ඇදුරන් ඇයට නිතැතින්ම මතක් වේ. එම ගුරුවරු පඩිපතට පමණක් ඉගැන්වීම සිදුකළේ නැත. ජීවිතයට අවශ්‍ය ශක්තියද, දිරියද ලබා දෙමින් හරි මග ගෙන එහි යෑමට අත්වැල සැපයූහ. තම බත් පත අසරණ දරුවෙක්ට දී සහෝදර ගුරුවරුන් එක බත්පත කන අවස්ථා ඕනෑ තරම් ඇය ඒ දිනවල දැක ඇත. එදා එසේ වෙද්දි අද ගුරුවරියක් තම පාසලේ දරුවෙකුගේ මවකට මුදල් සෙවීමේ මාර්ගයක් ලෙස අයුතු මාර්ගයක් පෙන්වා දෙයි.

Monday, January 3, 2022

ඇයද මව් නම් විය - 10 කොටස

 


උඹ ගිය දවසේ තාත්ත මාව කම්මුතු කරේ නැති ටික විතරයි. පහු පහු වෙනකොට ටිකක් හරි ගියා. දැන් උඹ ඉන්නේ ඔය මැරිච්ච මිනිහගේ ගෙදරද.. නැත්තං වෙනමද...

 

නෑ වෙනම අම්.මෙ.. ඒ වචනය ඇය අවුරුදු කීපයකට පසු කීවේ වෙවුලුම් කන දෙතොලිනි. දැන් තමුන්ද තම අම්මා මෙන්, අම්මා කෙනෙක් වී අවුරුදු කිහිපයක් ගෙවා දමා ඇත. ආ හැටියේ මව දෙදෙනා දෙසම බලා කඳුළු වගුරුවමින් කතා කරන විට ඇයටද නොහඩා සිටීමට සිතේ කිසිඳු දහිරියක් නොවීය. පැය කිහිපයකට පසු කුඹුරට ගොස් ගෙදර එන තවතවත් රැළිගැසුණු හා ඉර අව්වට පිළිස්සුනු හම සහිත පියා දැක ඇයට තව තවත් දුකක් මෙන්ම කිසියම් භයක්ද ඇතිවිය. නමුත් පියා වචනයක්වත් නොදොඩාම පුරුදු පරිදි පිටුපස දෙසිං ගෙට ඇතුළු විය. මව ඔහුට දවල් ආහාරය පිළියෙළ කර දීම සඳහා ඇයත්, දරුවාත් තනිකරමින් කුස්සියට පිටත්විනි.

 

කෝ පුතා මෙහෙට එන්න.. මෙතනින් ඉඳගන්න

ඒ ආවේ කවුද අම්..මේ

ඒ තමයි පුතේ පුතාගේ අම්මගේ, අම්මයි තාත්තයි. ඒ ආවේ පුතාගේ සීය.. දැන් ඇතුළට ගියේ ආච්චි

එතකොට අපි ඉන්න තැන ඉන්න ආච්චියි, සීයයි අපේ නෙමේද..

නෑ පු..තා. ඒගොල්ලෝ අපේම අය නෙමේ..

අම්මේ අපි මෙහෙ ඉන්නවද..

පුතා කැමති මෙහෙ ඉන්නද .. නැත්තං හිටපු ගෙදර ඉන්නද

අම්ම ඉන්න කැමැති කොහිටද..

 

එයට එක එල්ලේම උත්තරයක් දීමට ඇයට නොහැක. කොළඹ කුඩා ගෙදරට වඩා අක්කර භාගයක් හිමි ඉඩමේ සාදා ඇති මෙම නිවසේ ඉඩකඩ ඇති තරම් ඇත. අක්කාද එන්නේ මාස 2කට සැරයක්ය. මල්ලීත් නිතරම ගෙදර නැත. එහෙත් නැවත දෙමාපියන්ට බරක් වීමට ඇයට නොහැකිය. ඒවගේම කොළඹ ජීවිතයට දැන් ඇය හුරිවී හමාරය. අකමැති වුවත් හිත ඇත්තේද කොළඹ හිරවී ගෙවන ජීවිතයටය. මේ කල්පනාව අස්සේ හිරු අවරට ගොස් ඇති නිසා අම්මා පැමිණ කුප්පි ලාම්පුව පත්තුකර සිටියාය. ඒ මොහොතේම ආ පළගැටික් එහි වැදී එතනම පිච්චී වැටිණි.

 

මේ බලපං මේ කොලුවා ඇදිල ගිහිල්ල... උඹ දැන් තනියෙම මොකක් කරනවද.. ඔය හත්දීපංකරවල.. වරෙන් මෙහෙ. ඇවිත් ඉන්න බැරිය..

ඔය යන ගමන් උදේකට තියා ගත්ත..නම්. ඒ හඬ ඇයගේ පියාගෙන්ය.

නෑ.. මේ මං කිව්වේ තනියෙම ළමයත් එක්ක ඉන්න එකේ.. දෙන්නටම මෙහෙ ඇවිත් ඉන්න කියල... අපේ මහත්තය..

මං යනව.. උක්කුවලගේ දිහා.. කෝ පොඩි එකා..

තාම ආවේ නෑ.. එහෙම තාමා ඇත්තේ. එන්න කියන්න අක්කත් ඇවිත් කියල..

හ..හ්ම්.. හ්ම්..

මල්ලි හැමදාම එහෙ යනවද.. අම්..මේ

අනේ මන්ද ඉතින්.. ඌයි අර රංගීගෙ නංගියි, මැරිච්ච සියාතුගේ ලමයයි දවසෙම ඇවිද ඇවිද ඉන්නව... එහෙන් මෙහෙටයි, මෙහෙන් එහෙටයි..

 

එදා ගමෙන් යද්දී තම මල්ලි හා රංගිගේ නැගෙණියත් සත් හැවිරිදි වියේ පසුවිය. එසේ නම් දෙදෙනාම දැන් 12වයසේ පමණ විය යුතුය. කුඩා කල සිට දඟකාර කමට හැදුණු දෙදෙනාම වෙනස් නොවී ඇති සැටියකි. අම්මාද, තාත්තාද, ගමද කිසිවක් නොවෙනස්ව තමාගේ වෙනස්වීම පමණක් විදහාපාන්නට හදනා සැටි යැයි ඇයගේ සිතට හැඟෙ. ගෙදරද එදා ගමෙන් ගිය දවසේ මෙන් බිත්ති පැහැය පවා වෙනස් නොවෙමින් එලෙසම තිබේ.  එදා කුප්පි ලාම්පුව අදටත් මද එළියක් විහිදුවමින් දැල්වේ. නමුත් ඇත්තටම නියම කළුවර ඇත්තේ හැමතැනම බල්බ් වැල් එල්ලෙන නගරයේය. එහි සිටිනා අයගේ සිත්වලය. ඇයට මොහොතකට කුප්පි ලාම්පුව වෙත ඇදෙන පලගැටි දෙස බලමින් සිටිද්දී සිතුණාය.