Wednesday, December 15, 2021

සියැටෙල් ගේ ලියමන.....

 

චායාරූ උපුටාගැන්ම අන්තර්ජාලයෙනි

1845 දී පමණ එක්සත් ජනපද ජනපතිවරයා රතු ඉන්දියානුවන්ගෙන්, ඔවුන්ගේ වාසභවන.. වසන භූමිය කාසිවලට හුවමාරු කරගන්න උත්සාහයක යෙදෙනවා. එයට පෙරලා යැවූ ප්‍රතිචාරයක් ලෙස සියැටෙල් (සිත්ල් ලෙස සමහරුන් හඳුන්වනවා) නම් රතු ඉන්දියානු මූලිකයා යැව්ව යයි කියනා පිළිතුරු ලිපියක් ලෝකේ පුරා ප්‍රචලිතය. කාව්‍යමය ස්වරූපයක් රැගත් මේ ලියමන ඔහුගේම නොවන බව ඇතුළු තවත් මත බහුතරයක් තියේ. ලියමන සම්බන්ධ ප්‍රධානම මතය එය සියටෙල්ගේම යයි වෙනකොට අනෙක් ප්‍රධාන මතය එය හොලිවුඩ් චිත්‍රපට රචකයෙකුගෙ බවයි. කොහොමින් උනත් ජනපති වෙත ගෙන යන ලියමන සියටෙල්ගෙන් ලියා ගන්න වෙන්නෙ වෙනත් අයෙකුට. මොකද ඔහුට ඉංග්‍රීසි නොහැකි වන්නට පුළුවන්. ඒ නැතත් ලියන්නට තිබෙන හැකියාව නොතිබෙන්න පුළුවනි බොහෝ විට. (ප්‍රසිද්ධ වූ ලියවිල්ල සත්‍යය ලියමන කාව්‍යාත්මක රිද්මයක් එක් කරමින් වඩා අරුත් මතු වන අයුරින් කළ එකක් බවයි වැඩි තාර්කික බවක් තියෙන්නෙ. එහෙම සිදුවුනොත් එය බොහෝ විට චිත්‍රපට රචකයාගේ වීමට ඇති ඉඩකඩ ඉතා වැඩී).

මේ ලියනම සම්බන්ධව නැගෙන අනෙක් ගැටලුව පොඩි පොඩි වෙනස්කම් සහිත ලිපි කිහිපයක්ම පැවතීම. කොහොමින් නමුත් මේ ලියමනේ හෝ ලියමන් වල ගැබ්ව තිබෙනා කරුණු කාරණා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ අවධානය හා ඇස් අරෙව්ව දෙයක් වුනා. මන්ද මේ ලියමන හරිම විචිත්‍රවත් අයුරින් විදහා පානවා අපට පරිසරයෙන් වෙන්ව වත්මනේ දියුණුව යැයි සලකන මේ මිරිඟුව පසුපස හඹා යන අමන ක්‍රියාවත් සමග සොබාදහමත්, සතා සීපාවත්, මිනිසාත් බැඳී ඇති සදාතනික බැම්ම බිඳිගන්න ආකාරය. ඒ නිසාවෙන් මෙහි ඇතුළත් සමහර යෙදුම් පරිසර හිතවාදීන් ඇතුළු බොහෝ දෙනා නිතර උපුටනය කර ගන්නවා.

        මේ එවන් එක් ලියමනක දිගහැරුම...

වොෂින්ටන්හි නායකයාණන් අපේ ඉඩම මිලදී ගැනීමට කැමති බවට පණිවිඩයක් එවයි. නමුත් අහස, පොළොව මිලදී ගැනීමට හෝ විකිණීමට හැක්කේ කෙසේද....ඉඩම ? අදහස අපට අමුතුයි. වාතයේ නැවුම් බව හා ජලයේ දීප්තිය අපට අයිති නැතිනම් ඔබට ඒවා විකුණන්නේ කෙසේද? සෑම පයින් කිනිත්තක්ම, සෑම වැලි සහිත වෙරළක්ම, අඳුරු වනයේ සෑම මීදුමක්ම, සෑම තණබිමක්ම, සෑම නිහතමානී කෘමියෙක්ම මාගේ ජනතාවගේ පාරිශුද්ධ වස්තු හා අත්දැකීම් වන්නේය. සුගන්දවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. වලසා, මුවා, අශ්වයා, මහා රාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරි ශිඛර ද, තණබිම්වල පිනි ද, අශ්වයාගේ මිනිසාගේත් සිරුරේ උණුසුමද යන මේ සියල්ල එකම පවුලකට අයත් වේ. ඇළ දොළ සහ ගංගාවල දිය දහර හුදු ජාලයම පමණක් නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප භූමිය ඔබට ලබාදෙන්නේ නම් එය අපට පාරිශුද්ධ වස්තුවක් බව මතකයේ තබා ගත යුතුය. විල්වල පැහැදිලි ජලයේ ඇති සෑම දිලිසෙන ඡායාවක්ම මගේ ජනතාවගේ ජීවිතයේ මතක සටහන්ය. මේ ජලය නගන හඬ මගේ මුතුන්මිත්තන්ගේ හඬය. ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. එබැවින් ඔබලා සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලටද දිය යුතුය.

අපි ඔබට අපේ ඉඩම් ලබා දෙනවානම් වාතය අපට අනර්ඝ බවත්, සතුන් හා මිනිසුන් සියලු දෙනාම හවුලේ එය බෙදා ගත් බවත් මතක තබා ගන්න. අපේ මුතුන්මිත්තන්ට පළමු හුස්ම දුන් සුළඟට ඔහුගේ අවසන් හුස්මද එකතුවුණි. ඒ සුළඟම අපේ දරුවන්ගේ ජීවිතයට ආත්මය ලබා දෙයි. තණබිම්වල මල් වලින් මිහිරි වන සුළඟේ පහස ලැබීමට එය පාරිශුද්ධව තබා ගත යුතුවේ.

අපි මෙය දනිමු. මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මහ පොළොවට මිනිසා අයත්ය. සියලු දෙනාම එකම රුධිරයකින් ජීවත්ව එකට සම්බන්ධවේ. ජීවිතය නමැති දැල මිනිසා වියමන් නොකළ අතර ඔහු එහි එක් නූලකි. ඔහු ඒ දැලට යම් හානියක් කලොත් එය තමාටම කරගන්නා අවැඩකි. සියලුම මී හරකුන් ඝාතනය කළ විට කුමක් සිදුවේද? ....වඩා වටින්නේ දුම්රියද? බොහෝ මිනිසුන්ගේ සුවඳින් ගහන රහස් සඟවා ඇති වනන්තරේ කඳුකර දර්ශනය, කතා කරන වයර් මගින් මකා දැමූ විට කුමක් සිදුවේද? අන්තිම රතු මිනිසාත් අතුරුදහන් වූ විට ඔහුගේ මතකය තණපිටි මැදින් ගමන් කරන වලාගැබක සෙවනැල්ලක් වූ විට තවදුරතත් මෙහි මේ වනාන්තර පවතීද? කිරි දරුවෙකු මවගේ තුරුලට ආසා කරනවා මෙන් මිහිකත දරුවෝ වන අපිද මේ පොළොවට ආදරේ කරයි.

ඉතින් අප ඉඩම් ලබාගන්නවා නම් ඔබලා අප කළ අයුරින්ම සියලු දරුවන් වෙනුවෙන් දේශය ආරක්ෂා කර එයට ආදරය කරන්න. අපි ඒ ගැන සැලකිලිමත් වූ නිසා ඔබලාද සැලකිලිමත් වන්න. අපි භූමියේ කොටසක් ඒ නිසා ඔබද භූමියේ කොටසක්ය. කිසිම මිනිසෙකු ඔහු රතු වේවා, සුදු වේවා වෙන්ව සිටිය නොහැක. අපි හැමෝම සහෝදරවරුන්ය.

5 comments:

  1. රචකයා කව්රුන් වුණත් මේ ලියවිල්ල අතිශය හෘදය සංවේදී විදිහට ලියවී තිබෙන්නක්. මෙහි පළමු පරිවර්තනය මම දැක්කේ 'එඩ්වින් ආරියදාස මහතා' සභාපති තනතුර ඉසිලූ 'පරිසර පර්ෂදය ' මඟින් නිකුත් කළ ප්‍රකාශනයකින්. 1978 විතර. එහි මේ ලිපියට හෙඩිම ලෙස යොදා තිබුණේ 'මල් අපේ සොහොයුරෝය, ගංගාවෝ අපේ සොහොයුරියෝය' කියලයි.

    ReplyDelete
    Replies
    1. නිදි, මං ඒ බවක් දැන උන්නෙ නැහැ, තුති පෙන්වා දුන්නට.

      Delete
  2. ලස්සන කතාවක් වගේ ඔක්කොම කියවන්න ඕනෙ මුල ඉදලාම

    ReplyDelete
    Replies
    1. හ්ම්. ගොඩවැදුනට තුති ලියෝනි

      Delete