Wednesday, June 24, 2020

ලාෆින් බුද්ධ, කවුද ??

    ලාෆින් බුද්ධ සංකේත, ප්‍රතිමා ලංකාවට ගෙනාවේ ෆෙන්ෂුයි බිස්නස් එක ලංකාවේ පටන් ගත්ත උදවිය. ඒ අය කවුද කියල නොකිව්වට හැමෝම ඉතින් දන්නවනෙ. ඉතින් මේ සංකේතය මාකට් උනේ වාසනාව, ධන නිදාන ලබා දෙන අයිටම් එකක් විදිහටයි. ලෝකෙත් ඒක එහෙම තමා. තමුන්ගේ ව්‍යාපාරික ස්ථානේ, ගෙදර වගේ ඕනෑම තැනක කාසි කිහිපයක් එක්ක පේන්න තිබ්බම හරි. ඒත් මේකට ෆෙන්ෂුයි පටන්ගත්ත චීනයෙ අය කිව්වේ "බුධායි" කියල. (රෙදි ගෝනිය වගේ අරුතක් තියෙනව කියල තමයි කියන්නේ). මේ බුධායි කියන්නේ චීන 'චාන්' බුදුදහමේ (ජපානයට යද්දී මෙය සෙන් බුදුදහම උනා) එන එක්තරා භික්ෂුවක්. මේ භික්ෂුව චාන් බුදුදහමේ මූලික හරය වන සරල කම, අල්පේච්චතාව අනුව තම ජීවිතය ගත කරපු කෙනෙක්. එතකොට මෙයාගේ ඇඳුම්, පැලඳුම් උනත් එහෙමයි සකස් උනේ. එක තැනක ජීවත් නූන මේ භික්ෂුව සංක්‍රමණය කරමින් තමයි කාලය ගත කළේ. ඒ අතර තමයි ගම්මානවල නවාතැන් ගනිමින් (වැහි කාලේට වගේ) ජනයාත් එක්ක ආශ්‍රය කරන්න ඉඩ හදා ගන්නේ. මෙයත් එක්ක ලඟින්ම ඉන්න පොඩි මල්ලකුත් තියෙනව.

    ඓතිහාසික චරිතයක් නිසා ගිලිහුණු හා එකතුවුණු කතා බොහොමයි. (හරියට පුරාවෘත්තයක් වගේ). මේ භික්ෂුව 10 වන ශතවර්ෂයේ හිටිය කියල තමයි කියන්නේ. සරල වස්ත්‍රයකින් සැරසිල ඉන්න, මහත තට්ට හිසක් ඇති කුඩා මල්ලක් රැගත් මේ භික්ෂුව සංකේතවත් කරන්නේ එදා චීන ජන සමාජයත්, භික්ෂු පිරිසේ නියෝජනයත් හා බුදු දහමේ මූලික හරයත් කියන දේවල්. මහායාන බුදුදහම ජපානයට ඇතුල්වීමත් එක්ක මේ 'බුධායි' භික්ෂුවව ජපන් සමාජයද දැන ගන්නව. (පස්සේ තවත් රටවල ව්‍යාප්ත උනා). ඒ ඔස්සේ ජපන් සමාජයේද කතා සමග මුසුව බුධායිගේ චරිතය තවත් වර්ධනය උනා. උන්වහන්සේ ළඟ ගුප්ත බල, ශක්ති ඇතිව හිටිය කියල සමහර කතාවල තියෙනව. එක කතාවක් තමයි මේ භික්ෂුව බොහොම කඩවසම්ව හිටිය ඒ නිසා බොහෝ මිනිසුන් මේ භික්ෂුවව බුදුන්ගේ රුව සමග සසඳන්න ගිහින් තියෙනව. මේක නුසුදුසු නිසා මෙයා තමුන්ගේ ශක්තියෙන් කැත, තරබාරු සිරුරුකට මාරුවී ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනව කියල තමයි තියෙන්නේ. (ඒ වෙන කෙනෙක් කියලත් සමහර තැන්වල තියෙනව /  සමහර තැන්වල බුධායි කියන්නේ හොටෙයි කියන කෙනාට කියලත් කියනව). තවත් ප්‍රසිද්ධ කතාවක් තියෙනව මේ භික්ෂුව බොහෝ සෙයින් ගැමියන්ට උදව් උපකාර කරමින් සීත කාලයේද විවෘත තැනක නිදාගෙන අල්පෙච්චව ජීවත් වෙලා තියෙනව. දිනක් මෙහෙම ඉන්න භික්ෂුව මරණයට පත්වෙලා ඉද්දි ගම්මුන්ට හම්බවෙනව. එතන කොලේක සටහන් කරල තිබිල තියෙනව මම අනාගත මෛත්‍රී බුදුන් කියල.

    මේ බුධායි භික්ෂුව මල්ලත් අරගෙන ගමන් යනකොට මෙයාගේ පස්සෙන් එන ළමයින්ට කතා කියල දීල සතුටට පත්කරලා තියෙනව. සමහර වෙලාවට කාසිත් ඒ අයට දීල තියෙනව දුප්පතුන්ගේ ළමයි නිසා. ඒ සිද්ධි සමහරෙක්ව චිත්‍රයට නගලත් තියෙනව පසුකාලේදී. (අපි භික්ෂුවක්ව දන්නේ කහ සිවුරත් එක්ක උනාට චීන, ජපන්, තායිලන්ත රටවල ඒක එහෙමම නෑ. සමහර භික්ෂුන් හිස්වැස්මවල්, පටි සහිත පාවහන් පවා පාවිච්චි කරනව). 

    තවත් මත - 
•බොහෝ අය අනාගත බුදුන් ලෙස සැලකුවෙ මෙම භික්ෂුවගේ කරුණාවන්තකම, නොඇලී සිටීම වගේ ගුණ තිබුණ නිසායි. 
•නිතරම සිනහවෙන් සිටි නිසාත් හොඳ ගතිගුණ තිබුණ නිසාත් ඔහුව සිනාසෙන බුදුන් ලෙස සලකල තියෙනව.
•ඔහුව අනාගත මෛත්‍රී බුදුන් ලෙසද හඳුන්වා තියෙනව. (අනාගත බුදුවරයෙක් කෙබඳු දැයි කිසිවෙක් නොදන්නා නිසා මේ කියමන වැරදි යයි වර්තමානයේ සමහරුන් තර්ක කරයි)
•මේ රූපය බුදුන් නොව අතීතයේ ජීවත් වූ භික්ෂුවක් බව කරුණු සෙවූ බොහෝ දෙනාට හමුවිනි.

    ඉතින් මේ කතා එක්ක හොඳටම පේනව මේ පිළිමෙ, රූපෙ ඉන්නේ අපි දන්න බුදු හිමියන් නෙමේ කියල. ඒත් කූට වෙළඳුන් සල්ලි කෑදර කමට මේක හඳුන්වල දුන්න "ලාෆින් බුද්ධ" කියල. මේ වචන අවුළ සමහර විටදි "බුධායි" හා "බුද්ධ" ඉංග්‍රීසියට පරිවර්තනය කරද්දී ඇති වෙච්ච දෙයක් වෙන්න පුලුවන්. මොකද budhaa - buddha දෙකම එක විදිහටකට තමා ලියන්න වෙන්නෙ සහ කියන්න වෙන්නෙ. එත් ඉතින් ලංකාවවේ මේ පිළිම විකුනන්න ගත්ත අයට ඒක තේරුම් ගන්න බැරි තරම් මෝඩද?.. එතකොට අපේ අය වාසනාවන්ත වෙන්න උදව් ඉල්ලං යන්නෙ මේ වගේ අයගෙන්ද?.. නැත්තං මෙයල ඇත්තටම මේ අයිටම් එක මාර්කට් කරන්න ලේසි නිසා දන්න නමකින්ම මෙහෙ ගෙනත් දැම්ම. (බුදුන් කවුරු උනත් සල්ලිනෙ වැදගත්). ඔය දෙකෙන් එකක්... මොකක් හෝ නමුත් අන්තිමේදී උනේ බෞද්ධයන්ගේ ශාස්තෘන් වහන්සෙ වන බුදුරජාණන් වහන්සේට නිගරුවක් හා බුදුදහමට අපහාසයක් විතරයි. ඒත් ඉතින් අපේ යටත් එච්චර ගානක් නෑ වගේ ඒ ගැන. මොකද ඔය පිළිම දුන් අල්ල අල්ල තියන් ඉන්න වැඩි පිරිසක් බෞද්ධ කියන අයමනෙ.

Tuesday, June 16, 2020

ලිංගික අධ්‍යාපනය - 2

මෙහි 1 කොටස වන ලිංගික අධ්‍යාපනයගෝලීය වශයෙන් බිහිවීම හා ව්‍යාප්තිය යන කොටසට යොමුවන්න.

ලංකාවේ ලිංගික අධ්‍යාපනය කෙසේ විය යුතුද ?

ලිංගික අධ්‍යාපනය පාසල් වල ඉගැන්වීම පිළිබඳ ලංකාව තුළ විවිධ විවිධ අදහස් ඇත. 2000 වර්ෂය ඇරඹිටත් පෙර සිට ලංකාවේ වැඩිහිටි ශ්‍රේණි මට්ටමින් මේ ලිංගික අධ්‍යාපන වැඩසටහන් වරින් වර ක්‍රියාත්මක වූ බව දක්නට හැක. නමුත් බටහිර පදනම් කරගෙන බිහි වූ මේ අධ්‍යාපන විෂය ලංකාවට උචිතද , එසේ උචිත වේ නම් විෂය පථයක් ලෙස සකස් කර මොන මොන වයස් කාණ්ඩය යටතේ හැදෑරීමට නිර්දේශ කළ යුතුද, විෂය අන්තර්ගතය කෙසේ විය යුතුද කියා කතිකාවතක් ලංකාවේ නියමාකාරයෙන් සිදුවී නොමැත. 10 ශ්‍රේණිය හා සාමාන්‍ය පෙළ විද්‍යා විෂයටද යම් කොටසක් මේ ලිංගික අධ්‍යාපනයෙන් ඇතුළත් වී ඇති අතර ඒ කොටස පන්තියේ ඉගැන්වීමටද සමහර ගුරුවරියන් යම් ඔතෑනි ගතියක් දක්වයි. එසේ තිබියදී මෙය නිකම්ම කාල පරිච්ඡේදයක් ඉවර කර දැමීමට යොදා ගන්නවාද, නැතිනම් රටේ අනාගතය භාරගන්නට ඉන්න දරුවන් ඉවර කර දැමීමට යොදා ගන්නවාද කියා රජය හා අධ්‍යාපන අමාත්‍යාංශය යන වගකිව යුතු තැන් තීරණය කළ යුතුය.

බටහිර ඇතුළු ඒ රටවල් මුල් කාලයේ ලිංගික අධ්‍යාපනය ඇරඹීමට යොමුවූ කරුණු 6ක් පෙර ලිපියේ දක්වා ඇත. ඒ දෙස හොඳින් බැලීමේදී පෙනී යන්නේ ඒ පළමු කරුණු 5 ලංකාවේ මේ අධ්‍යාපන ක්‍රමය අරඹන්නටත් පෙර සිට අප සමාජයේ යම් අයුරකින් තිබූ බවය. නමුත් පෙළගැස්වීමකින්, විශේෂඥ දැනුමකින්, ක්‍රමිකව විෂය පථයක් ලෙස සිදු නොවිනි. ගෙදර සිටි අත්තම්මා, නැන්දා, ලොකු අම්මා, ලොකු අක්කා වැනි අය ඇසුරේ සෑදුණු දැරිවිය හා මාමා, බාප්පා සහ ඥාති වැඩිමල් පිරිමින් ඇසුරේ සිටි කුඩා දරුවා තම පිරිසිදුකම, අන් අය සමග ගනුදෙනු කරන අයුරු, සමාජය තුළ හැසිරෙන හැටි ආදී බොහෝ දෑ දැන ගති. රෙදි සේදීමට, නාන්න තම ඥාති කාන්තා පිරිස සමග ගිය වැඩිවියට පත්වූ යෞවනියට හොඳ, නරක දැනගැනීමට හා හිරිහැරයක් හෝ යම් අතවරයක් වීමට ඇති ඉඩ  ඇහිරිණි. ඒ වාගේම කායික වෙනස්වීම්, සමාජීය ඇසුර  කෙසේදැයි තේරුම් ගැනීමට උපදෙස් ලැබිණි. තම විස්තෘත පවුල තුළ රැකුණ දරුවන් ගමේ ගොඩේ තනිව හැසිරුනද අවට බොහොමයක් දෙනා ඥාතීන් නිසා යම් සොයා බැලීමට ලක්වුණි. අද මෙන් රූපවාහිනියෙන්, දුරකතනයෙන්, සමාජයෙන් කාමුකත්වය ඉස්මතු නොකළ ඒ යුගයේ ගමේ බොහෝ වැදගත් කටයුතු සිදුවුනේ පන්සලත් සමගය. ඉතින් මේ ආගමික චාරයකින් හෙබි යෞවනයාට විරුද්ධ ලිංගිකයා කෙරේ ඇල්මක් තිබුණද කාම පිපාසාවක් නැතිවා සේම ලිංගාශ්‍රිත රෝග බියක්ද නොතිබිණි. නමුත් පෙර ලිපියේ සඳහන් ඒ රටවල සමාජ ක්‍රමය තරමට නැතත් අප රටද වත්මනේ ගමන් කරමින් සිටින්නේ ඒ දෙසටය.

ලංකාවේ වර්තමාන මෙම අධ්‍යාපන ක්‍රමය කෙසේ විය යුතු ද ?........ යන ගැටලුව විසඳීමට අප මූලික වශයෙන් කරනු 2ක් අවධානයට ගත යුතුය. අධ්‍යනය කළ යුතුය.

1 - ඒ රටවල් තම වත්මන් සමාජය යන කරුණත් අවධානයට ගත්තා සේම අපද එයට අවධානය යොමු කළ යුතුය.

2 - ඒ රටවලට ගැළපෙන ලෙස සකසාගත් අධ්‍යාපනය (සමස්තය බටහිර ඇතුළු සියලු රටවල් එකම ආකෘතිමය ක්‍රමයකට තමා යොමුව තිබෙන්නේ) අපටත් එකසේ ගැළපේද යන්නට අවධානය යොමු කළ යුතුය.

ඉහතින් පෙන්වූ ලෙස වර්තමානයේ තම විස්තෘත පවුලෙන්, ඥාති පිරිස සමගින් වැඩිවියටපත් යෞවනයට වෙනුවට අද වෙනස් පරිසරයක් සැකසී ඇත. ඒ වාගේම විවෘත ආර්ථිකය හා සමාජීය ක්‍රමය තුළ බටහිර වෙළඳපොල හා ජනප්‍රිය සංස්කෘතිය මෙහි සේම මුළු ආසියාවේම පොම්ප කිරීම කලක පටන් සිදුවේ. ඉතින් අප මේ පරිවර්තනය වෙමින් සිටින යුගයේ පෙර සමාජය සංස්කෘතික හරපද්ධතීන් තුල එක කකුලකුත් අනෙක් කකුල බටහිර ක්‍රමය තුලත් තබාගෙන ඇත. යම් සංයමයක් තිබූ අප දැන් ඊනියා නිදහස් අදහස් පෙරදැරිව කාමභෝගී වෙමින්, සංකර වෙමින් පවතී. එසේ වන විට එදා බටහිර රටවල මෙන් එය කුඩා දරු පරපුරට හා යෞවනයන් හටද ප්‍රතිවිපාක භුක්ති විඳින්නට සිදුවන බව පෙනේ. බටහිර පරීක්ෂකයින්ට එදා දැකගැනීමට හැකිවුණු සමහරෙක් කරුණු වත්මනේ අපටද දැකිය හැකිය.

· යෞවනයේ පෙර තිබූ ලැජ්ජාව හා විළිබිය අඩුවීමක්, යම් කාමුකත්වයකට නැඹුරු වීමක් හා සමලිංගික ක්‍රියා වර්ධනයක්

· කායික එක්වන්නට පෙළඹීමක් හා ඒවා සම්බන්දව කතා කිරීමට විරුද්ධ ලිංගිකයින් දෙපිරිසේම කැමැත්ත වැඩිවී ඇත

· මත්ද්‍රව්‍ය, මත්පැන් හා මත්වැටි පාවිච්චිය වර්ධනය

· කුඩා වයසේ පසුවන අය ඥාති නොවන වැඩිහිටි පුද්ගලයින් සමග ආශ්‍රයේ වැඩිවීම

ඉතින් මේ කාර්යභාරය දෙමාපිය-ළමා බැමි, ගෞරවය දුරස් වූ බටහිර රටවල මෙන් නොව අප රටේ තවමත් යම් සදාචාරාත්මක වගවීමක් ඇති හෙයින් මව්පියන්නට ළමයා තමා අසළ තියාගෙන සමහරෙක් කරනු කතා කර නොහැකිය. (ලිංගික එක්වීම ආදී කරනු). ඒ වාගේම පවුල, ඥාතිත්ව හා සමාජ සම්බන්ධතා විසිරී ගිය, බීමත් තාත්තා අතින් තම වැඩිමහල් දියණිය අපහරණයට ලක් වන පසුබිමක දරුවන්ට සමාජය තුලින් පූර්ණ රැකවරණයක් සැලසෙනවා යයි කියන්නටද බැරිය. ඉතින් මවවත් ගෙදර නොසිට වැඩට යන කළ මේවා කියා දීම කුමන හෝ ආකාරයකින් සිදුවිය යුතුවේ. නමුත් බටහිර රටවල ඇති ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය එලෙසම මෙහි භාවිතයට ගැනීම අනුවණ කමකි.

අවධානයට ගතයුතු කරුණු -

    · බටහිර තිබෙන ඊනියා නිදහස, ලිබරල්වාදී සමාජ ප්‍රතිසංස්කරණ සමග ඔවුන් අප මෙන් වාරණයන්ට කැමති නැත (බොහෝ දෙනා). ඉතින් ඔවුන් එය දරුවන්ටද භාවිත කරයි. නව යොවුන් වයසේ තරුණියකට සහකරුවකු සමග සම්බන්ධයක් ඇති කරගැනීමට බාධාවක් නොවේ. බාධාවක් නොකරන, නොවන තැන ඊළඟට ඇතිවන ප්‍රශ්නය නම් ලිංගිකව එක් වීමකදී ගැබ් ගැනීමක් සිදුවුණ හොත්, මන්ද යෞවනයන් ආරක්ෂාකාරී එක්වීමක් ගැන දැනුවත්වී නොමැත. මේ ආදී ඇතිවන ගැටළු තැන් වලටයි බටහිර ප්‍රමුඛ බොහෝ රටවල් මේ ලිංගික අධ්‍යාපන ක්‍රමය ඇරඹුවේ. (විශේෂයෙන් මේ ක්‍රමය දිළිඳු හා AIDS ඇති අප්‍රිකා රටවලට වැඩදායක වී ඇත). ඉතින් අප සමාජය ඒ තරමටම සමපාත නොවන නිසා එම රටවල භාවිත අදහස් අපට අවැසි නොවේ. ඔවුන් මෙන් තවමත් අප සමාජය ආගමික පරිසරයෙන් දුරස්ව නැත. ඉතින් අපට මේ කාමුකත්වය යෞවනයෙන් දුරස් කිරීමට ආගමික හික්මීමත් ඉවහල් කරගත හැක. මෙය ආගමට තාරුණ්‍ය කොටු කිරීමක් නොවේ. ඔවුන්ට තම අතීත සමාජය පවත්වාගෙන ආ යහපත් සිරිත්විරිත්, හික්මීම ලබා දීම මගින් තම ජීවිතයට මෙන්ම සමාජයට වගකියන, හැඟීම් වලට වහල් නොවූ යෞවනයක් ඇති කළ හැක.

    · අප දැඩි අවධානයට යොමු කළ යුතු කරුණක් නම් බටහිර සිසුන්ට වැඩසටහන්, ඉගැන්වීම් දියත් කරමින් සාරධර්ම වර්ධනය කිරීමට උත්සුක වීම්, නිදහස් යෝජනා කිරීම් සිදුකලත් ලිංගික එක්වීමේ වාර ගණන සැලකිය යුතු ලෙස අඩු නොවීම සහ ලිංගිකත්වයට එළඹීමේ ආරම්භය පමා වීමක් සැලකිය යුතු ලෙස සිදුවී නොමැතිමුත් එක්වීමේදී ආරක්ෂාකාරී වීමේ වර්ධනයක් පෙන්වයි. ඉතින් අපටත් අවශ්‍ය මේ දෙය පමණක් නම් ඒ අධ්‍යාපන ක්‍රමයම මෙහේ ස්ථාපිත කළ හැක.

    · අනෙක් කරුණ නම් ලිංගික සම්බන්ධයකට යෑමට මුත් බියෙන් සිටින යෞවනයන්ට මේ විෂය සකස් කර නොදීමෙන් පනින රිළවුන්ට ඉනිමං බැන්ඳා වගේ වන්නටද පුළුවනි. (සුරක්ෂිත ලිංගික එක්වීම, කොන්ඩම් පැළඳීම කියාදීම වැනි කරනු නිසා)

    · සිසු, සිසුවියන් දෙපිරිසටම එකට  උගැන්වීමමෙන් බිය හා ලජ්ජාශීලී බව නැතිවිය හැකිය. (පිරිමි ළමුන් ඉදිරියේ තබාගෙන සිසුවියන්ට සනීපාරක්ෂක තුවා භාවියට උපදෙස් දීම, සිසුවිය ඉදිරියේ සිසුන්ට ශිෂ්ණය පිබිදීම ගැන පැහැදිලි කිරීම)

    මේ සියලුම කරුණු සැලකීමට ගෙන අධ්‍යනය කිරීමේදී පෙනී යන දෙයක් නම් මේ විෂය ක්ෂේත්‍රය සිසුන්ගේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කළ යුතු අතර වයස් සීමාවන්ට, කාන්ඩයන්ට අනුව බෙදා යම් යම් කරුණු ඉගෙනීමට යුතු බවය. එය තනි විෂය ක්ෂේත්‍රයක් ලෙස ගත නොහැක. සමාජ අධ්‍යනය, විද්‍යාව හා ප්‍රායෝගික කුසලතා වර්ධනය විෂයන් මෙන්ම සිංහල හා ඉතිහාසය යන විෂයන්ද අවශ්‍ය වේ.

කුඩා විය -

    සමහරෙක් දෑ කුඩා කළ සිට ගෙදරින්ම කියා දිය යුතුවේ. ඒත් සමහර දුවාදරුවන්ට දෙමාපිය හෝ වැඩිහිටි බලාකියාගන්න පිරිසක් නැති නිසාත් සැලකිය යුතු කාලයක් පාසලේ රැඳෙන නිසාත් ඒවා පාසලෙන්ද කුඩා දරුවන්ට කියා දිය යුතුය. ඒවා නම්

    · නිවැරදි පුරුදු                  ·පිරිසිඳු බව                       · වැඩිහිටියන්ට කීකරු වීම ආදියයි. මේවා කතන්දර, උපමා කතා, චිත්‍ර කතා ආදියෙන් කුඩා දරුවන්ගේ සිතට ඇතුළත් කළ හැකිය.

මධ්‍යම ළමා විය -

    මේ වයසේ දරුවන් යොවුන් වියේ මුල් අවධියයි. තම අවයව පිළිබඳ තරමක දැනීමකින් හා සමාජයේ දේවල් ග්‍රහණය කරගැනීමේ හැකියාවකින් යුක්තයි. එම නිසා තමන්ගේ ලිංගික අවයව ශරීර කෘත්‍යයෙන් (මුත්‍රා හා මළපහ) පසු නිවැරදිව සෝදා ගන්නා ආකාරයත් ඉන් පසු අත් දෙක සෝදා ගන්නා ආකාරයත් කියාදීම, අන් ළමුන්ගේ සිරුරේ ඇල්ලීමට නොහැකි ප්‍රදේශ පිළිබඳ තේරුම් කර දීම, නොහඳුනන වැඩිහිටියන් හමුවේ ක්‍රියා කරන්නේ කොහොමද, ළමා පැහැරගැනීමක් යනු කුමක්ද ආදිය කියා දීම කළ හැක.

මධ්‍යම හා මුල් යොවුන් විය අතර විය -

    මේ වයසේදී දරුවන් විරුද්ධ ලිංගිකයා කෙරේ යම් ආකර්ෂණයක් පෙන්වීම, ශාරීරික වෙනස්කම් ඇතිවීම පටන් ගැනුම ආදිය සිදුවේ. ඔවුන්ගේ විද්‍යා විෂය පද්ධතිය මගින් සිරුරේ ක්‍රියාකාරිත්වය, ජීවයේ හටගැන්ම, ලිංගික වෙනක්ම් මත ගෑනු පිරිමි භාවය තීරණය කිරීම ගැන කියා දිය හැක. ඒ වගේම සමාජ අධ්‍යනය විෂයන් මගින් යොවුන් වයස, සමාජ සම්බන්ධතා, පවුල් පසුබිම ආදිය ගැන කියා දිය හැක. මේ වයස් සීමා තුනටම වෙනින් විෂයක් අවශ්‍ය නොවේ.

යොවුන් විය -

    මේ වයසේ විරුද්ධ ලිංගිකයා සමග යම් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට උත්සහ ගනී. සිරුරේ වෙනස් කම් සමග ඒවාට අනුගතව විවිධ අත්හදා බැලීම් වලට යන්නට යොමුවේ. වර්තමානයේ දී සිප ගැනීම, තම හෝ විරුද්ධ ලිංගිකයාගේ කයේ ස්පර්ශය ලබමින් වින්දනයක් ගැනීමට පෙළඹේ. එම නිසා මේ වයසේ ඇරඹුමත් සමගම ලිපියේ ඉහත සඳහන් කළ ලෙස තම ආශාවන්, සිතුවිලි ආගමික හා සමාජීය පරිසරය හමුවේ පාලනය කරගන්නා හැටි, විරුද්ධ ලිංගිකයා හා ආශ්‍රයේ ඇති සීමාවන්, ලිංගික එක්වීමකට ගියහොත් අනාගතයේ ඇතිවන ගැට‍ළු, තම අවධානය අධ්‍යාපනයට ලබා දෙන හැටි ගැන, පෞරුෂ වර්ධනය වැනි කාරණා කතා කළ හැක.

නව යොවුන් විය -

    මේ වයසේ මුහුකුරා ගිය බවක් හා තම සිතැඟි ක්‍රියාවට නංවන්නට යන ආකාරයක් පෙනේ. මේ වයස් කාණ්ඩය ලෙස 15 (10 වසර) සිට උ. පෙළ දක්වා ගත හැක. මේ වයස් කාණ්ඩයට තමා ලිංගික අධ්‍යාපනය ලෙස අප හඳුනා ගන්නා විෂය ලබා දීම සිදු කළ යුත්තේ නමුත් එය තනිකරම ලිංගිකත්වය සම්බන්ධ ඉගැන්වීමක් නොවන නිසාත් සිසුගේ හා සමාජයේ පහසුව තකා ‘යොවුන් සම්බන්ධතා හා සමාජ අධ්‍යනය’ , ‘යොවුන් කායික හා මානසික අධ්‍යනය’ වැනි යෙදුම් භාවිතා කළ හැක. ඒ වගේම මේ වයස් කාණ්ඩයේ අයගේ විෂය ක්ෂේත්‍රයට ඇතුළත් හා නොවිය යුතු කරුණු නම් -

ඇතුල් වියයුතු කරුණු -                                            ඇතුල් නොවියයුතු කරුණු -

හැඟීම් අවුස්සන කාම මාධ්‍ය, වෙළඳ උපක්‍රම

ලිංගික එක්වීම යෞවනයකුගේ පූර්ණ අයිතියක් බව

යොවුන් සම්බන්ධතාවක ඇති ගැඹුර හා වපසරිය

ස්වයං ලිංගික සන්තර්පණ පූර්ණ වරදක් නැති බව

අධ්‍යාපනය කරන සමයේ සම්බන්ධයක් ඇරඹීම හරිද?

ස්වයං ලිංගික සන්තර්පණ භාණ්ඩ ගැන

විවාහය හා ඊට පෙර ලිංගික එක්වීමේ ප්‍රතිවිපාක

සමලිංගික එක්වීමේ වරදක් නැති බව

ලිංගික එක්වීමක් තුලින් ගැබ් ගැනීමක් වන්නේ කෙසේද

සාමූහික ලිංගික එක්වීම් ගැන

ආරක්‍ෂිත ලිංගික එක්වීම් /කොන්ඩම් භාවිතය

ගබ්සාවක් කරන්නේ කොහොමද කියා දැනුවත් කිරීම

ලිංගාශ්‍රිත රෝග වැළඳෙන ආකාරය

කැමැත්තෙන් අනෙකාට ලිංගික අවයව සිපගැනීමට, ස්පර්ශයට ලබා දීම වරදක් නැති බව

ගබ්සා කිරීම ගැන නීති රීති, සමාජ මතය හා කුලසිරිත්

 

 

    මේ කාරණා ඇතුලත්ව ඇතිව විෂය ඉගැන්වීමට කලින් සඳහන් කළ ලෙස නව යෞවනයන් දෙපිරිසම එකට තබා කළ නොහැකි අතර පාසලේම සිටිනා කාන්තා ගුරුවරියකට පිරිමි ළමුන් හට මේවා කියා දීමේදී ඇතිවන ප්‍රායෝගික අපහසුතාද දක්නට ලැබේ. එම නිසා සිසුවියන්ට ගුරුවරියකුත්, සිසුන්ට ගුරුවරයකුත් ලෙස භාවිතා කරමින් වෙන වෙනම ඉගැන්වීම් සිදු කර හැක. ගුරුවරුන් දෙදෙනෙක් එක විෂයකට පත් කළ නොහැකිනම් පාසල් කිහිපයකට දෙපක්ෂයෙන් ගුරුවරු දෙදෙනෙක් දැමිය හැකි අතර විෂය අවුරුද්දක් පුරා ඉගැන්වීමට තරම් නොවන නිසා කිසිඳු ගැටළුවක් ඇතිවන්නේද නැත.

අවසන් නිගමනය - මේ සියලුම කාරණා මනාව අධ්‍යනය කිරීමෙන් පෙනී යන්නේ දරුවා හා තාරුණ්‍යයට විෂය දැනුමක්, ශිල්පීය ඥාණය ලබා දීම පමණක් නොව ඔවුන්ව යහමගට ගැනීම, දුසිරිතෙන් තොර කිරීම, අනාගතයේ සමාජ දේහයට එක්වන්නට හැකියාව ඇති කිරීම ආදී පුළුල් පරාසයක් අධ්‍යාපනයට හා පාසලට පැවරී ඇති බවය. ඉතින් මෙය තනි විෂයක් හරහා කරන්නට යෑමෙන් කිසිඳු ඵලක් නැත බව ඉහත පෙන්වා ඇත. ගසට පොහොර, වතුර දැමිය යුත්තේ, ව්‍යාප්ත වන දිසාව තීරණය කළ යුත්තේ ගස පැලකළ දින සිට මිසක් මගක් වැඩි ගිය පසු නොවේ. ඒ නිසා කළ යුත්තේ, අවධානයට ගත යුත්තේ අධ්‍යාපනය දැනුමකට සීමා නොකර සමාජ පුරවැසියෙක් බිහිකරන, වගකිව හැකි ඥානණයෙන් යුත් පුරවැසියෙක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම විනා ලිංගික අධ්‍යාපනය විය යුත්තේ කෙසේද කියා විෂය නිර්දේශ සෑදීම හෝ සිසුන්ට තවත් විෂය බරක් හිසමත පැටවීම නොවේ. නැතිනම් වන්නේ “ලිංගික අධ්‍යාපනය” මේ සංවාදය තවත් දශකයක් යනකම් ලංකාවේ කතාකිරීමට ලක්වන, මාධ්‍යට පතුරු ගැසිය හැකි මාතෘකාවක් පවත්වාගෙන යෑම පමණි.

 

 


ලිංගික අධ්‍යාපනය - 1

මෙය කොටස් දෙකකින් මුදා හැර ඇති අතර පළමු කොටසින් ලිංගික අධ්‍යාපනය ගෝලීය වශයෙන් බිහිවීම හා ව්‍යාප්තිය ගැනත් දෙවන කොටසින් ලංකාවේ ලිංගික අධ්‍යාපනය කෙසේ විය යුතුද යන්න ගැනත්ය.

ලිංගික අධ්‍යාපනය ගෝලීය වශයෙන් බිහිවීම හා ව්‍යාප්තිය ගැන

  ලිංගික අධ්‍යාපනය

    සාම්ප්‍රදායිකව බොහෝ රටවල නව යොවුන් දරුවන් අතරේ ලිංගික කාරණා පිලිබඳ කිසිඳු තොරතුරක් නොගැවසුණු අතර මේ ගැන සාකච්ඡාවද තහනම්ව පැවතිණි. එනමුත් කුඩා වියේ ගැබ් ගැනීම්, දැනුවත් භාවය, රෝග වැළැක්වීම යන කාරණා මත ලිංගික අධ්‍යාපනය හෝ දැනුවත් කිරීම යන අදහස, මතය ආරම්භ වන්නේ 1912 ගණන්වලදීය. ඊටත් දසක කිහිපයක් ගිය තැන මේ මතය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙත යොමුවීම හා ඇරඹීම සුදුවුනි (නිවැරදිවම කාල වකවානු දැක්වීම අපහසුය). 1940 දී එක්සත් ජනපද මහජන සෞඛ්‍ය සේවය පාසල් වලට ලිංගික අධ්‍යාපනය ඇතුල් කිරීම පිලිබඳ දැඩි උනන්දුවක් පෙන්විය. 1953 දී ඇමරිකාව පුරා වැඩසටහන් දියත් කළේය. උතුරු ඇමරිකානු කොටසේ විෂය මාලාවක් ලෙස ‘සමාජ සනීපාරක්ෂාව’ හඳුන්වාදීමත් සමග පාසල් පදනම් කරගත් ලිංගික අධ්‍යාපනය 19වන සියවසේ අග සිට අද දක්වා ලොව පුරා මෙය ව්‍යාප්ත විය.

ඔවුන් එරට අධ්‍යාපනයට මෙය විෂයක් ලෙස ගෙන එන්නට හේතු වූ කරණා පෙලක් -

1 වැඩිවියට පත්වීමේදී සිරුරේ හා මානසිකව වන වෙනස්කම් වලට මුහුණ දීමට හා කායිකව පෙරට වඩා පිරිසිදු බව (විශේෂයෙන් ලිංගාශ්‍රිතව) පවත්වා ගැනීම

2 ගැහැණු ළමුන් හට ඔසප් චක්‍රය ඇතුළු ඒ සිදුවීම් තේරුම් කර දීම හා ඒවායේදී ගත යුතු පියවර

3 ලිංගික අතවර (කායිකව හා වාචිකව) යනු මොනවාද හා ඒවායින් මගහැර සිටීම හා විරුද්ධ වීම හා ඒ මොහොතේ ගත යුතු ක්‍රියා පෙන්වාදීම

4 විශේෂයෙන් ඖෂධ නොමැති ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සමාජයේ පැතිරීම ඇහිරීම හා ඒ රෝග බෝ වන ආකාරයන් තේරුම්කර දීම

5 ගැබ් ගැනීම් වලකා ගැනීම හා ලිංගික ඇසුර හැකි තරම් පමා කිරීමට යෝජනා කිරීම

6 යෞවනියන් ලිංගික අත්හදා බැලීම් වලට (ස්වයං හා විරුද්ධ කෙනා සමග), ලිංගික එක්වීම් වලට පෙලඹෙන නිසා එය සුරක්ෂිත හා ආරක්ෂාකාරීව කිරීමට කියාදී

දසක කිහිපයකට පෙර තිබූ සමාජය වෙනස්වෙමින්, ගොලීකරණය වෙමින් සමාජ දිශානතිය වෙනස් ගමනාන්ත වෙත ගමන් කරමින් තිබේ. බටහිරින් පටන් ගෙන මුළු ලොව සමාජයන් දක්වා ඇතිව ඇති මේ වෙනස්කම් යෞවනයට හා එදා ඉපදුණ අත දරුවාටද එක සේ බලපෑවේ ය. ඒ නිසා පෙර තිබූ පාසල් තුළ තිබූ ලිංගික අධ්‍යාපන විෂය තුලට ඇතුල්විය යුතු නව කරුණු හා තොරතුරු රැස් කරමින් පරීක්ෂකයින්, අධ්‍යාපනඥයන් හා රජයන් වත්මන් ලිංගික අධ්‍යාපන විෂය පථය අරුත්බර, ඵලදායි කරගන්නා ආකාරය පිළිබඳ නිරතුරු පසුවිපරම් කරයි.

බටහිර ඇතුළු පිට රටවල සමාජ විපර්යාසත් සමග වත්මන් යොවුන් අධ්‍යාපන තත්වය

· ආගම් ක්‍රියාවලිය හා යුද්ධ මත - ආගමික දැක්වීම් සමාජය විසින්ම වෙනස්කර ගැන්ම හා බලෙන් ආගම වෙනස් කිරීම හා යුධ ආක්‍රමණ, යුධ බලය මත බලෙන් වෙනස් ආගමක් ඇදහීමට පැටවීම තුලින් සමාජයේ ඇතිවූ වෙනස

· ධනවාදය, ලිබරල්වාදය, විශ්ව ගම්මානය වැනි සංකල්ප හා දර්ශන න්‍යායන් බිහිවීමෙන්

· කාර්මික විප්ලවය, වානීජ්‍යකරණය වැනි දේ තුලින් සමාජයේ ආර්ථික ක්‍රියාවලියට සිදුවූ බලපෑම

· අන්තර්ජාල ව්‍යාප්තිය, වැඩිහිටි හා කාමුක මාධ්‍ය කලාවක් ව්‍යාප්ත වීම   

මේ අයුරින් විවිධ පැතිකඩ සලකා බැලීමේදී පෙර තිබූ සැහැල්ලු, සරල ජන ජීවිතයක් වෙනුවට අද සංකීර්ණ, විස්තීර්ණවූ සමාජයකට අප සියලුදෙනා හිමිකම් කියනා බව පෙනේ. මේ විපර්යාසය පිටුපස ධනවාදී වෙළඳන්ගේ හස්තයත්, බලය හොබවන පාලක පන්තියත් සැඟව සිටි. විශේෂයයෙන් ලිබරල් මතවාදත් සමග නිදහස් ලිංගික මතයක් දරන මේ රටවල් තුළ මාධ්‍ය, කලාව මෙන්ම ජනප්‍රිය සංස්කෘතිය තුලද වත්මන් පරිසරය අතිශය කාමුක ස්වරුපයක් ගෙන ඇත. විකෘති ආශාවන්, අධිපාරිභෝගවාදී මානසිකත්වයන් තුලින් ඉටු කර ගන්නට යෑමෙන් වන විනාශය සමාජය විපරීත කර ඇත.

ඉතින් නව සමාජ තත්වය සමග අද දවසේ ඇමරිකා, බ්‍රසීලය, අයර්ලන්තය, බ්‍රිතාන්‍ය, කැනඩාව, නවසීලන්තය, ඉරානය, ස්වීඩනය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉරානය, එංගලන්තය හා බොහෝ අප්‍රිකා ඇතුළු අනෙකුත් රටවල් මේ  ඉහත පෙන්වූ කරුණු 6 ට එහා ගිය පරාසයකට අවධානය යොමු කරමින් ලිංගික අධ්‍යාපන පිළිබඳ පරීක්ෂණ, වැඩමුළු, නිරීක්ෂණ, තරුණ එකමුතු සංවිධානය කරමින් මේ විෂයට නවමු දේ එකතු කර ඇත හා එකතු කරමින් සිටි. ඒ වගේම මේ සමග ලිංගික අධ්‍යාපන (Sex education) යන යෙදුම වෙනුවට ‘ලිංගික හා සම්බන්ධතා අධ්‍යාපනය (Sex and Relationship Education) , විස්තීරණ (පුළුල්) ලිංගික අධ්‍යාපනය (comprehensive sexuality education) යන යෙදුම් වත්මනේ පැමිණ ඇත.

වත්මන් විෂය ක්ෂේත්‍රය අවදානය ලක්වූ කරනු කිහිපයක් -

· කුඩා වියේ සිට කායික හා වාචික අතවරයන්ට ලක්වීම සමාජයේ බහුලව ව්‍යාප්ති වීම

· කුඩා වියේ සිට දරුවන් තම විරුද්ධ ලිංගිකයින් සමග ලිංගිකව එකතුවන්නට වැඩි වශයෙන් පෙළඹීම

· එක් සහකරුවකු ඉක්මවා ලිංගිකව හැසිරීමේ වර්ධනය (සමූහ ලිංගික ක්‍රියා)

· සමලිංගික ඇබ්බැහියේ වර්ධනය

· ගැබ් ගැනීම් හා ලිංගික රෝග ව්‍යාප්තියේ වර්ධනය

· කුඩා වියේ සිට මත්ද්‍රව්‍ය, මත්පැන් හා මත්වැටි පාවිච්චියේ වර්ධනය

මේ හා තවත් කාරණා ඇතුළුව පර්යේෂකයින් නව ලිබරල් සමාජයේ සිටින යෞවනයන්ගේ ලිංගික සෞඛ්‍ය ශක්තිමත් කිරීමට, ආරක්ෂාකාරී ලිංගික ක්‍රියා වර්ධනය කිරීම, කොන්ඩම් භාවිතයට දිරිමත් කිරීම, එක් සහකරුවකු පමණක් ආශ්‍රයට යෝජනා කිරීම, සමූහ ලිංගික ක්‍රියාවලට නොයෑමට උපදෙස් දීම, අතවරවලින් බේරෙන ආකාරය හා කුසලතා ආකල්ප වර්ධනයට, ගෞරවනීය ලෙස සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට, සාරධර්ම වර්ධනය, යහපැවැත්ම, චිත්තවේග පාලනය, ප්‍රජනන අයිතීන් තේරුම්ගනීම, තෘප්තිමත් ජීවිතයකට සුදානම් කිරීම ඇතුළු බොහෝ දේ නව ලිංගික අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයට ඇතුළත් කර තිබේ. ඒ වාගේම බටහිර රටවල රජයන් විසින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පරීක්ෂණ, ගවේෂණ වලට හා එඩ්ස් වැනි ප්‍රතිජීවක ඖෂධ නොමැති බෝවන ලිංගික රෝග ප්‍රචාරය අඩු කිරීමට මෙන්ම ලිංගික හිංසනය හා ගැබ් ගැනීනීම් මගින් ඇතිවන සමාජීය, මානසික මෙන්ම ආර්ථික අපහසුතා වර්ධනය දුරු කිරීමට ඒ රටවල් රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු කොටසක් යොදවයි.

මේ සියල්ල මගින් ඔවුනට අවශ්‍ය සමාජ සම්බන්ධතා නිවැරදිව ගෙනයන, යහපත් සමාජයක්, සෞඛ්‍යමත් සමාජයක් බිහි කිරීමයි. එමගින් මානසික, සාමාජීය හා ආර්ථිකමය අංශයන් වලට සිදුවන අනාගත යහපත් සමාජීය වෙනස්කම් ලඟා කරගැනීම අපේක්ෂා කෙරේ.

*********************************

මේ සියලු දේ සලකා බැලීමේදී පෙනී යන්නේ අවරයට යන සමාජය දේහය යහ මගට ගැනීමට ඔවුන් බොහෝ දේ කරණා බවත් ය. නමුත් ඊනියා නිදහස් හා කාමුක පරිසරයක් තුළ මේ ඉලක්කයන් සපුරා ගැනීම හරිම අපහසු බව ඔවුන්ද පිළිගනී. එසේ කියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණඥයින් හා සමාජ පර්යේෂකයින් තම ක්‍රියාව අතහැර නැත.

පාසල් අධ්‍යාපනය පදනම් කරගත් පර්යේෂකයිගේ නව වාර්තාවල දැකිය හැකි කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත. එයින් අපට මෙවැනි පරිසරයක් තවමත් නැතිමුත් ඇතිවෙමින් තිබෙන රටක ලෙස අප පාසල් අධ්‍යාපනය තුලින් මේ සඳහා ගතහැකි පියවර මොනවාද හා අප පාසල් ලිංගික අධ්‍යාපන ක්‍රමය කෙසේ විය යුතුද යන්න තේරුම් ගත හැක.

· ළමුන් ලිංගිකත්වයට අසාමාන්‍ය ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි

· අඩු අධ්‍යාපන, අඩු ආර්ථික මට්ටම් ඇති පවුල් වල හා උසස් අධ්‍යාපනයක් නොලබන ගැහැණු ළමුන් ඉහළ යෞවන උපත් අනුපාතයක් පෙන්නුම් කරයි

· යොවුන් ගැබ් ගැනීම් මත අධ්‍යාපනය කඩාවැටීම, විරැකියාව, මානසික පීඩන වැඩිවීම සිදුවේ

· ලිංගික අධ්‍යාපනය දීම, දැනුවත්භාවය මත යොවුන් ගැබ් ගැනීම් අනුපාතය සැලකිය යුතු තරමක් පහත වැටී ඇත

· 1993 එක් ඇමරිකානු අධ්‍යනයක් පෙන්වන්නේ උසස් පාසල් සිසුන්ගෙන් 5/1ක් ලිංගික හිරිහැර විඳ ඇති බවයි

· පාසල් බස් රථයේ පළමු ශ්‍රේණියේ දියණියකට 4 වසරේ ළමුන් අසභ්‍ය වචන කියා කායික ක්‍රියාවකට එන ලෙස ඇරයුම් කර ඇත. (හාදුවක්, ස්පර්ශයක් වාගේ)

· යෞවන සමාජ මිතුරු හලක් අරඹා එමගින් සමූහ කාමුක ක්‍රියා අත්හදා බැලීම් සිදුකර ඇත

· විවිධ රටවල් 10 ක අධ්‍යනයකින් පෙනී යන්නේ පාසල් ළමුන් ලිංගිකත්වය පිළිබඳ උගන්වන ආකාරයට අකමැති බවයි. (තම පාසලේම ගුරුවරයෙක් සහභාගිවන නිසා, විද්‍යාත්මක හා සායනික ආකාරයක් ගත් නිසා)

· ගුරුවරයන්ද දුර්වල පුහුණුව හා ලජ්ජාශීලී බව හමුවේ සිසුන් ඉදිරියේ අපහසුතාවට පත්වේ හා ගුරු සිසු සබඳතා වියැකේ. මේ හේතු නිසා ගුරුවරුන්ද මේ විෂය මග හරී

· සිසුන් ලිංගික ක්‍රියාවලට පෙලඹෙන බව කීමට මැලිවන නිසා සමහර පරීක්ෂණ නිසි අයුරින් කිරීමට දුෂ්කර විය

· සමහර රටවල ගැහැණු ළමුන් 3/2ක් ඔසප් වීම ඇරඹීමත් සමග කරන්නේ කුමක්දැයි යන්න ගැන තේරුමක් නැත

 

මෙහි 2 කොටස වන ලංකාවේ ලිංගික අධ්‍යාපනය කෙසේ විය යුතුද යන්න ගැන බලන්න.


Thursday, June 11, 2020

මානුෂීය ප්‍රේමයේ දෝංකාරය

         ජනප්‍රිය බොහෝ දෙනා දක්ෂයින් නොවෙති. දක්ෂ බොහෝ දෙනා ජනප්‍රිය වන්නට තරම් වාසනාවන්තයින්ද නොවෙති. එහෙත් තම දක්ෂකම නිසාම බැබලුන ප්‍රේමකීර්ති ද අල්විස් පසුපස අඳුරු හා රුදුරු සැහැසිකම්ද සෙවනැල්ල මෙන් එකට පෑහී ආවේය.  මානවහිතවාදී ඔහු ගැන මියගිය පසු ඕනෑ තරම් ලිපි, උළෙලවල්, වැඩසටහන්, ගුණානුස්මරණ කර ඇති අතර පාරක්ද නම්කොට හමාරය. නමුත් ඒ මානවහිතවාදියා හා ඒ හදවතින් ජීවත්වූ මනුස්සයා හැඳිනගෙන අප, අප වෙත උකහාගත් යමක් ඇද්ද...

“ගසකට මලක් පළඳවනු නොහැකිය - ගසටම හිතෙන දිනෙක ගසම මලක් පුබුදවා ගන්නවා මිසක”

‘නොසැලෙන ඉන්ද්‍රකීලයක් සේ’ පොතේ සටහන්ව ඇති මේ කවිපෙලින් ඔහු ජීවිතයද තේරුම් කර ඇත. හැන්ද තිබෙන්නේ තම අතේය. ඉතින් ඕනෑ හැටියට බෙදා ගන්නට තීරණ ගැනීමේ අයිතිය තිබෙන්නේද තමා සතුවය. එසේ කිව් ඔහු තමාට අංචි ඇද්ද කිසිවෙකුට පෙරළා වින කරන්නට නොගියහ. තමාට පෙත්සම් ගැසූ අයටද පද වැලකින් පමණක් පිළිතුරු දුනි.

අලුත් කලාවක් හොයා ගත්ත මං

දියුණු වෙන්න ඕනෑ නම්

නිකං ඉන්නෙපා කෝම කෝම හරි 

ගහපල්ලා බං පෙත්සම්  

කෙනෙක් දියුණුවේ ඉහළට යනවා  

බලා ඉඳින්නට බැරි නම්  

කර වටටම දාපියව් තොප්පියක්   

ලෝකේ චාරේ ඒකයි දැන්  

අද ලෝකේ චාරේ එකයි....

තමුන්ට කවුරු හෝ කොක්කක් දැම්මොත් ඔහුටත් එලෙසම කරන අද සමාජයේ කම්කරු පන්තිය එහෙමය. ළඟ ඉන්න කෙනා දුරින් තියාගෙන බොරු friendship එකකින් ඉන්න අය ඕනෑ තරම්ය. වචනයකටත් තමා සමග වැඩ කරන කෙනාත් සමග ඇරගන්න උන්දලා එකට එක් වන්නේ පඩි වැඩි වීමකට, වැඩවර්ජනයකට වාගේ තනිවම මුණ දෙන්නට බැරි අවස්ථාවලදී පමණකි. එහෙත් හදවතක් ඇති කෙනෙක් වූ ප්‍රේම්කීර්ති නම් වෘත්තිකයා එසේ නොවී සියලු දේ හොඳින් තේරුම් බේරුම් ගෙන වල කපන්නාටද අකුල් නොහෙලා පෑන් තුඩින් ඒවාට පිළිතුරු දුන්නේය. සියලු දෙනාම මනුස්සයෝය යන වැකිය කිසිදා bord meeting වල selfi ගහන අද ඈයෝ දන්නේ නැත. ප්‍රශ්නයක් ආ විට තම වෘත්තිය සගයා අඩකොටයට තියා හෝ ඇඟ බේරගන්නා පශ්චාත් නූතනවාදී අද ඈයොන්ට කණ්ඩායම් හැඟීම අහලකවත් නැති අතර කාර්යාලවල මිතුරුකම් තිබෙන්නේද ඒ ස්ථානයේ වැඩ කරනකම් පමණි. ඒ නිසායි මනුස්සකම යටතේ රූපවාහිනියේ පෙන්වන add අප හිතට මෙතරම්ම වැදී තිබෙන්නේ....

ඔහු නන්දා මාලනියගේ ගීත ගුවන් විදුලියේ තහනම් වූ යුගයක ප්‍රයෝග භාවිතා කර ඒ ගී ප්‍රචාරණය කරමින් සුභාවිත ගී අභාවයට යන්නට නුදුන්නේය. අද දවසේ උපදින කිසිඳු ළමයෙක්වත් මේ ගීත අසා නැත. එතරම් කලාත්මක, අරුත්බර ගී වාරණ නොතකා ප්‍රචාරය කිරීමට නොබියව සිටිමින් ඔහු තම වෘත්තීයේ ඇති ගරුත්වය රැක ගත්තේය. අතකොළුවක් වී හෑල්ලුවට පත් නොකළේය. එදා රජයේ මෙන්ම සමාජයේ ඇති වැරදි හැඳින ඒවා විවේචනය කිරීමට ඔහු නොපසුබට නොවිනි. ඒ නිසායි එදා තහනම් වූ ගී ප්‍රචාර වූවා මෙන්ම ඔහුගේ අතින් මිනිසෙකු පිට නැගි අසරුවෙකි, මා එක්කලා අමනාප වී දබර, බැරිබර හින්දයි දරුවන් දුන්නේ, සමනළයා මල හා ළමය සේ, අහසින් පොළොවට කඩා වැටිලද, කන්ඳ කෙන්ද කරනු පිණිස........ ආදි පදවැල් ලියවුනේ.

එහෙත් අද දින අප සමාජයේ බොහෝ ඇදුරන් හා ලොකු පුටු රත්කරන අය පවා  කුමන හෝ දේශපාලන පක්ෂයකට, රැලකට, මතවාදයකට හිරිකිතයකින් තොරව කඩේ යයි. එහෙව් එකේ තමාද එසේ වීම වරදක් නොවන බව සිතා රජයේ ආයතනවල සිටින සාමාන්‍ය සේවකයෝද වැඩකරති. හොඳ දෙයක් තමුන්ගේ නොවුනද එය හොඳ බව ලංකාවේ අය දන්නේ ටික දෙනෙකි. ඒ නිසා ගිය රජයේ වැඩසටහන් නව රජය ආ හැටියේ නවතී. තට්ටු මාරුවට ගිය මේ සියලු රජයන්ගේ විකාර නවත්වන්නට ජනතාවටද නිවැරදි දැක්මක් නැත්තේ මේ ඇති කොන්දේ ඇදය නිසාය. එය කෙලින් කරන්නට යන උදවියටද මේ ලංකාවේ අය red signal දමන්නේ, හරි මග ලංකාවේ එතරම්ම off road වී හමාර නිසාය.

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ... පදවැලත් සමග ප්‍රේම් - වික්ටර් මිතුරුකම මෙන්ම ලාංකේය ගීත ශේත්‍රයට අලුත් පිටුවක් පෙරලිනි. ඒ වාගේම වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය නමැති කෙත මේ කලණමිත්‍රත්වයේ උදව්ද ඇතිව මිහිමත පුරා අස්වදින්නට විය. 1973 ජුලි 20 දා ලුම්බිණි රඟහලෙන් ඇරඹි ‘ස’ ප්‍රසංගයයේ අත්වැල් ගායනයට හා වාදනයට සිටි බොහෝ දෙනා අද ලංකාවේ ජේෂ්ඨ කලාකරුවන්ය. ‘ස’ නොඇසූ, නොදැකපු කෙනෙකේ ඒ අවදියේ නොසිටි තරම්ය. අද ඒ හරවත් හා රසවත්  ප්‍රසංග වෙනුවට කනට දැනෙන, කකුලට දැනෙන සංගීතප්‍රසංග වල් බිහිවන්නා සේ බිහිවී ඇත. ඒ මදිවාට ඔහු ගුවන් විදුලියෙන් ඇරඹි ඒ නිදහස් ආරේ හරවත් කථන සම්ප්‍රදාය වෙනුවට අද ඇත්තේ කට වාචාල නිදහස් නිවේදක පිරිසකි. නැත්නම් වැඩසටහනට පෙර අන්තරජාලයෙන් හෝ කාගෙන් හෝ දැනගත් දෙයක් කටේ තවරාගෙන හරවත් වෙනුවට හරසුන් වාග් සංග්‍රාමයක යෙදීමය. දිනක් ඔහු ජැක්සන් ඇන්තනී මුල් රූපවාහිනී වැඩසටහන කිරීමට පෙර වරුවක් පුස්තකාලයේ ගෙවූ බව දැනගත් විට කියා තිබ්බේ ‘වැඩසටහනක් කරන්න පොත් බලන්න එපා. ජීවිතේට දෙයක් එකතු කරගන්න හදාරන්න. ඒ දෙයින් වැඩසටහන් කරන්න’ කියාය. ඒ කියමන එදාට වඩා අදට කෙතරම් උචිතද....

 කිරිකැටි පුතේ නුඹ මට ලොකුවට පෙනුණි - ලොකුකම කොයිද නම් ඇය මට හමු නොවුණි 

එතකුඳු නොවේ මගෙ තනිකම හිතට දැනී - ඇය මා වැනිම මා වැන්නකු තවත් තැනී

ප්‍රේමකීර්ති මහත් ආදරය කළ තම පුතුට ඒ කවිය ලිව්වා වාගේම අනෙක් දරුවන්ටද ආදරය කළේය. එසේ නැතිනම් තම දියණිය පාසල් ඇරලවන්නට ගිය අවස්තාවක හටගත් සිතුවිල්ලක් මෙදා ගීතයක් ලෙස අප දෙසවන් පිනවන්නේ නැත.

 පුංචි පන්තිවල හැබෑම හුරතල් හොහෙන්ද මේ පොඩි නෑදෑයෝ 

උදෙන්ම පාසල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ 

මව්වරු දන්නැති පියවරු දන්නැති කොතරම් දරුවන් මෙහි ඇතිදෝ 

උන්ගේ නාමෙන් එකමුතුවීයන් දෙපිල බෙදී ඇති දෙමව්පියෝ........

අද ඉන්න දෙමාපියන් සිතන්නේ තම ළමයා ගැන පමණක්ය. පළමු ශ්‍රේණියට දමාගන්නට ලෝකෙ නැති බොරු ගොතන අතරේ ලිංගික අල්ලස් දෙන මව්වරුද නැතුවා නොවේ. තම දරුවා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට මව්වරු පසුබට නොවන බව කෙනෙක්ට කියත හැක. එහෙත් අපට නොපෙනෙන අනෙක් පැත්ත වන්නේ මේ යන ගමන තනි ආත්මාර්ථය මත පදනම් වූ වැඩපිළිවෙළය. පාසලේ rating තියා ගැනීමට විදුහල්පතිවරු මහන්සි ගන්නා අතරේ syllabus කවර් කිරීමටට පමණක් ගුරුවරු වැඩ කරයි. දෙමාපිය වදයට ළමයි පාසල් යයි... එක වීමේ, කඩඉම පැනීමේ, පසුකර යාමේ ක්‍රියාවලියක සෑම දෙනා සිරවී සිටි. සමස්තය එසේ නොවුනත් මේ සන්දර්භයෙන් පිට අධ්‍යාපනයක් අපට ඇද්ද... ඥානයෙන් යුතු, ගුණගරුක, නීතියට හිස නමන, මනුසත්කමින් පිරි දරු පරපුරක් පිළිබඳ කාගේ නම් අවධානය යොමු වේද... ඒවාගේම ඔහු එඩ්වඩ් ජයකොඩිට ලියූ සමනලයා මල හා ළමය ගීතය තුළ නගන ප්‍රශ්නය ‘සමනලයා කොතනේ...?’

විජය කුමාරතුංගගේ ඝාතනය මුළු රටටම ඇසෙන්නට බිඳුණු කටහඬින් කී ඔහු මානවහිතවාදියෙක්ගේ, සහෘදයකුගේ නික්මයාම තවත් මානවහිතවාදියෙක් හැඟීම්බරව ගුවනට මුසුකලේ එලෙසය. දැනෙන හදවතක්, උණුවන හදවතක් ඔහුට තිබිණි. මල් තරුණ සාමය, හඳ මාමා උඩින් යතේ..... වැනි ගී තුලින් ඒ බැව ප්‍රකටවේ. මිනිසෙකු පිට නැගී අසරුවෙකි, කන්ඳ කෙන්ද කරනු පිණිස, කුන්ඩුමණී යන ගීත තුලින් ඔහු සමාජයේ ජීවත්වන මිනිසාගේ විවිධ හැසිරීම් පෙන්වමින් ඒවා විවේචනය කර උපහාසය අවැසි තැන උපහාසයද යොදාගෙන ඒ සිදුවීම් සිදුවන්නට හේතු වන කරුණු විචාරය කිරීමට රසිකයා පොලඹවයි.  තම මිතුරෙකුගේ ගෙදර ආරවුලක් ඇතිබව දැනගත් ඔහු

සැපවත් පවුලක පරමාර්ථෙ - ප්‍රීතිය හා සොම්නස වන්නේ   

සැමියයි බිරිඳයි නෙත් දෙක සේ - සැමදා ජීවත් විය යුතුවේ’ යන ගී පදපෙල ලිය දොරේ එල්ලීය. තවත් මිතුරෙකු විවාහය බිඳී තම දියණිය ගැන සිතමින් සිටිනා විට ‘අම්මා ළඟට දුව යන එක ඉතා හරී - එරුණේ නැති නිසා මගේ තනේ කිරි’  යනුවෙන් පැදිපෙලක් ලියා දී තිබිණ. ඒ වාගේම මිල්ටන් මල්ලවාරච්චි වැනි අය ක්ෂේත්‍රයට ආ මුල් යුගයේ ඔවුන්ට අතහිත දුනි. දිනෙක රන්සළු පළඳා, සුන්දරත්වයෙන් පිරි හා තවත් ගී දෙකක් ලියා වික්ටර් රත්නායකයන් හට දී සංගීතවත් කර ජනප්‍රියත්වයට පත්වීමට ඉඩ මෙන්ම ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායක වර්ගීකරණයට පත් වීමටද මාර්ගය පාදා දුන්හ. ඔහු ගී පද මුදලට, ජනප්‍රියත්වයට හෝ සම්මාන බලාගෙන නොලිව්වේය. තම සතුට, මිතුදම, වින්දනය වෙනුවෙන් ලිව්වේය. ඒ නිසයි ඔහුගේ පදවැල් මෙතරම් රසවත් වන්නේ. මර්වින් පෙරේරා හට සරල ගී වැඩසටහනට එක් ගීයක් මදි වී ප්‍රේමකීර්ති හට කී මොහොතේ බුලත් විටක් ගෙනත් දෙන පමාවට ඔහු ගී පද අමුණා දී තිබිණ. තම ප්‍රථම සරල ගීතය වන රූපා ඉන්දුමතී හා මල්කාන්ති නන්දසිරි ගයන ‘හද පුදසුනෙ සෙනෙහෙ බැඳුණේ’ ඔහු ලියා තිබෙන්නේ කොළය බිත්තියේ තබාගෙන විනාඩි කිහිපයකදීය. ‘ආදරයේ උල්පත’ වූ නම් මව්ගුණ ගීතයේ පද පෙළ ලියා තිබෙන්නේ බසයේ යන ගමන් තමා ගත් බස් ටිකට් එකේමය.

මේ නගරය මා, සසර සරි සරණ තෙක්, රටකින් එහා, එදා රෑ, ඔබ දේදුන්න ආකාසයේ, ආදරණීය නේරංජනා, කෙදිනද කූඩු හදන්නට, මියුරු කල්පනා, දිනෙක රන් සළු, මිහිරැති වසන්ත කාලේ.... යන ප්‍රේම ගී තුලින් වර්තමානයේ හඬන, යදින, දරුණු, කාමුක තාරුණ්‍ය වෙනුවට දයාන්විත, ලයාන්විත, ආදරණීය තාරුණ්‍යයකට ඔහු එදා ඇමතීය. තනි තරුවේ ඔබත් ඔහොම හා අපි හැඟුම්වලට ඉඩ දී...  ගීත වෙනස්ම ආරකට ලියවුන ආදර ගී පෙළකි. ඔහු ඇතිවන ආදරය නැතිවී යන හේතු ගැනද කතා කළහ. මානවහිතවාදියා මෙන්ම පරිසරහිතවාදියාද ඔහු තුළ එකසේ සිටියේය. දිනක් ළිඳකට වැටුණු ලේනෙක් බේරා ගැනීමට මඩ තවරාගෙන ලිඳට බැස්සේ දෙවරක් නොසිතමින්ය. කුරුල්ලන්ට ගී ගයන්න... ඒ පරිසරයට, සතා සීපාවාටද ආදරය කරන හැටි කියා දෙන ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පාඩමයි.

නමුත් බල ලෝභී දේශපාලන ඔනෑකමට ඔහුගේ බිරිඳ කෑ ගසද්දීද බලෙන් ඇදගෙන ගොස් වෙඩි තියා මරාදමා තිබියදී පසුදා උදේ නිසල දේහය සොයා ගැනිණ. අහල පහළ උදවියවත් විපතකදී ඇස් ඇර නොබලන අතරේ ඔහුගේ මුහුණටත් වෙඩි තබන්නට තරම් නරුමයන් අමානුෂික වී ඇත්තේ හදවතේ සුන්දරත්වය හඳුනා ගන්නට තරම් හැකියාවක් ඇති සමාජයක් අපට නැති නිසා වන්නට පුළුවනි.