Tuesday, December 21, 2021

ඇයද මව් නම් විය - 8 කොටස

 

චායාරූ අන්තර්ජාලයෙනි


පෙර පාසල් ගුරුදෙගුරු රැස්වීමක් කැඳවා ඇති නිසා ඇයට නොයා සිටීමටද නොහැක. තිබෙන හොඳම ඇඳුම ඇඳගෙන පුතු සමග බසයට ගොඩවූ ඇය මොනවා අහයි දැයි කියා බියට පත්විය. "සමහර විට උත්සවේ ගැන කතා කරන්න වෙන්න ඇති. සල්ලි ගැන ඇහුවොත් මොනව කියන්නද මන්ද..." කියා සිත සිතා ගමනාන්තයෙන් බැසගෙන පෙරපාසලට තම දරුවාද සමග ඇතුළුවිය.

 

කෝ එන්න අත අල්ලා ගන්න..

ඉතින් අම්ම අල්ලගන්නකො.. මට කියන්නේ..

පුතා මේ ටීච ආයෙ ඇහුවෙ නෑ නේද සල්ලි ගැන..

නෑ.. ඒත් ඕගොල්ලන්ගේ ගෙදර හම්බකරන්නේ කවුද කියල ටීචකෙනෙක් ඇහුව..

ඉතින් පුතා මොකද කිව්වේ...

මං කිව්ව හැමදේම ඉතින් අම්...ම.. විතරයි කරන්නේ කියල

හොඳ පුතා.. වෙන මුකුත් ඇහුවෙ නෑනෙ..

නෑ.. අම්මේ අන්න අමායත් ඇවිල්ල..

ආ.. පුතා අත කටේ දාන්නේ නෑ.. එක හොඳ නෑ කෝ පහලට දාන්න.

කන වෙලාවට විතරද එතකොට දාන්න හොඳ..

 

ඇය පුදුමයට පත්විය... ළමුන් වැඩි තේරුමක් නැතුව කියන කතා සමහරෙක් වැඩිහිටියන්ටද ඒහා ගිය කතාය. ඔවුන්ට යම් යම් දේවල් ගැන වැඩිහිටියන්ට පවා නොදෙවෙනි අවධානයක්, දැනීමක් ඇත. දිනක් හවස බසයේ ගමන් කරමින් සිටියදී විවිධ ප්‍රශ්න අසා එක විටම බසයේ රියදුරා දෙස මදක් වෙලා බලා හිඳ සිටි දරුවා

 

අම්..මේ අපි ඔක්කොමලව ඩ්‍රයිවර් අංකල් ගිහින් දානවනම් එයාව ගිහින් දාන්නේ කවුද..

එයා බස් එක අන්තිමට ගෙදර අරගෙන යනවා පුතා..

එච්චර ලොකු බස් එකක් දාන්න ඉඩ තියෙනවද අම්මේ ඒ අංකල්ගේ ගෙදර..

ඔව් පුතා නැත්තං බස් එකක් ගන්නේ නෑ නෙ.. ඒ අංකල්.

ඒකනේ.. එච්චර ලොකු ගෙයක් තියෙනවනම් මොකටද අම්මෙ ඒ අංකල් බස් එලවන්නේ.. අපි ඉන්න ගෙදර ආච්චි, සීයයි වගේ ඉන්න පුළුවන්නේ..

 

දිනක් පාරේ ඇති කහ ඉර පෙන්වමින් ඒ අඳ තිබෙන්නේ මොනවාට දැයි අසා සිටි විට ඒ පාර පැනීමට බව ඈ කියා සිටියදී "ඉතින් අම්මේ හැමෝම එතනින් පාර පනිනේ නෑනෙ” යයි දරුවා කීවේය.

එහෙම අය අල්ලන්න තමයි පුතා පොලිස් අංකල්ල දාල තියෙන්නේ..

ඉතින් ඒගොල්ලොත් පනිවනේ...

 

තවත් දිනෙක බාස් කෙනෙක් පෙන්වමින් "අම්මේ අර අංකල් විතරක් ඇයි අව්වේ වැඩ කරන්නේ..

ඒ පුතා හරියට ඉගෙන ගත්තේ නැති උනහම.. පෙන්වා නෙ. ඔයාටත් වෙන්නේ ඔච්චරයි ඉගෙන ගත්තේ නැත්තං..

ඉතින් අම්මේ ඉගෙන ගත්ත අයට ගෙවල් හදන්නේ ඉගෙන ගත්තේ නැති අයද එතකොට..

 

මෙවන් තැන්වලදී ඇය බොහෝ විට නිහඬව හිඳීමට වග බලා ගනී. සමහර අවස්ථාවල උත්තරදී ඉවරයක් නැත. තවත් සමහර විට දෙන උත්තරයද ප්‍රශ්නයක් කොට නැවත අසයි. ඒ දරුවන්ගේ හැටි බව දනිතත් ඇයට සමහර අවස්ථාවාදී තරහ යන වේලාවන්ද නැතුවා නොවේ. එවන් දිනයක සැරකරමින් ගැසූ පහරකට පුතා දහවලට නොකාම ඇඳට වී අඬන්නට විය. එදින ඉරිදා දිනයක් විය.

 

කෝ එන්න පුතා.. එන්න දැන් හරි.. මේ බත් ටික කන්න

බෑ.. කන්..න බෑ

ආ එන්න ප්ලේන් එකක් අරගෙන දෙන්නම්...

එපා.. මට බෑ..

හරි එන්නකො.. හවස කඩේ ගිහින් ගමු.. කෝ එන්න.. ලස්සන බල්බ් පත්තුවෙන එකක් ගමු..

උඩ යන එක...ක්.ද. මොහොතකට පෙර තරහව ඇඳේ ගුලිවී සිට දරුවා දැන් ඇය අසලට පැමිණ සෙල්ලං බඩුවල විස්තර අසමින් සිනාසේ.


1 comment: