Saturday, July 30, 2022

මිනිහා පුදුමම සතෙකි

        


        මීමන ප්‍රේමතිලක ලියා ඇති 'මිනිහා' නමැති කවි පන්තියේ එක් කවියක්.


යදියෙකි පොහොසතෙකි දිළිදෙකි කුලවතෙකි
සැඩොලෙකි කුලවතෙකි බලතෙකි සිරිමතෙකි
කිව හැකි එකම උරුමය සහ එක ගතකි
මිනිහෙකි මේ බෙදුනෙ මොහු පුදුමම සතෙකි

Sunday, May 29, 2022

කපුටු ලන්තෙ වැසියො //

 


    කලක් පුරාවට අපේ රටේ ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණයත් එක්ක ගැටගැහිලා යන අපූරු ගීයක් හම්බවුනා. කළාකාරයෝ අනාගතේ දකිනවා කියන්නෙ කටකහනවටද කියල හිතුන මේ පද පෙල දැක්ක ගමන්ම.

කපුටු ලන්තෙ වැසියො සැවොම සාමෙන් එක් වෙලා

භේද බින්න වෙන්නෙ නැතුව කාලය ගත කලා

හිටපු ගමන් හදිසියේ රජෙක් පහල වෙලා

අනේ අපොයි රටේ තිබුණු සාමය නැති කලා

 

එක එක පැති වලට බෙදිලා වැසියො රණ්ඩු වුනේ

කපටි රජා වැඩි බණ පද දෙසමින් වැජඹුණේ

අන්තිමේදී පොළොව පවා බෙදා ගන්න අනේ

සටන් කරලා වටිනා කියන ජීවිත නැති උනේ

 

ලෝකෙ පුරා ආරංචිය ගිය විට පැතිරිලා

දොස් නගනව ඇහුන ගමන් රජ කලබල වෙලා

සාම දූතයෙක් යවනව කියමින් පවසලා

කාක්කෙක්ව යැව්වා ඇඟේ සුදු හුණු තවරලා

 

පරවියෙකුගෙ වෙස් අරගෙන සාම කොඩිය වනා

කපුට ගිහින් හැම තැනකම කැත කරන්න වුනා

රජ්ජුරුවෝ ඒ කතා කුණු දෑතින් අන අනා

කපුටු ලන්තෙ දුඟඳ කරල ගෙට වෙල හැංගුනා


ගායනය - ෆ්‍රෙඩි සිල්වා

පද හා සංගීතය - ලාල් සිල්වා

මෙතනින් අහන්න - 

https://www.youtube.com/watch?v=mNP8y-66rXw

Tuesday, April 5, 2022

සිහසුනෙ ඉන්ට රට දැය පාවා නොදෙනූ...//

බමුණා වුණත් දුඳනෙකු නම් බිම හොවනූ
සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ
වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ
කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ

රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ


 


ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ගුණදාස කපුගේ

 


 

Tuesday, March 22, 2022

ඇය යන්න ගියා මැකිලා

 

අපි ආදරය කරන අයගෙන් වෙන්වීම මිනිසාට මෙන්ම සතාසිව්පාවාට පවා දැනෙන මහත් දුක මුසු සිදුවීමකි. ලොවේ එය සනාතන දහමක් වේ. නැතිව එය බුද්ධාගම් කාරයින්ට පමණක් බලපවත්වන නීතියක් නොවේ. මේ විප්‍රයෝගී දුක හුස්මකින්, ඉකිබිඳුමකින්, කවි පදයකින් පිටකර හිත හෑල්ලු කර ගැනීමට, දුක තුනී කර ගැනීමට එදා සුන්දර ගැමියා යත්න දැරුවේය. ඔහු සොබාදහමේ පණිවිඩය තේරුම් ගනිමින් ජීවන යතාර්තයට හිස නැමුවේය. එය තේරුම් ගත්තේය. ඒ සඳහා කවියක් ගොතා සාංකාව දුරුකර ගැනීමට එදා ගැමියාට මහෝපකාරී වන්නට ඇත. බොහෝ කලක සිට අග්‍රගණ්‍ය සංගීත කලාවක් සතු අපට වියෝ දුක පහ කරගැනුමට එය උපකාර කළේය. කරන්නේය.


ගීතයට අවශ්‍ය සෝකී රසය පරිසරයේ ඇති දේවල් සමග ඈඳා ගනිමින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කර ඇත. ඒ පද වැල් වල නිර්මාපකයා සුනිල් සරත් පෙරේරාය. ඊට අනුරූප අයුරින්ම සංගීතය මුසු කළ මියැසි රටාව එච්. එම්. ජයවර්ධනය. ලයාන්විත හඬ මුසුව අමරසිරි පීරිස් ය. මේ ත්‍රිත්වයේ උපරිම රසයෙන් ගෙතුණු ගීතය

ඇය යන්න ගියා මැකිලා........

ආදරයේ මිහිරියාව, සුන්දරත්වය, තුලින් සිතේ මෘදුබව, සෞන්දර්යාත්මක බව ඉස්මතු කළ ඇය පරිසරයේම කොටසක් විය. ඇයට පෙම් බැඳී ඔහුත් පරිසරයේම කොටසක් විය. වන අරණේ, තුරු සෙවනේ ගෙවූ ඒ ආදරණීය මිහිරියාව මකා ලමින් ඈ ඔහුගෙන්ද, මේ ලොවින්ද සමුගෙන ඇත. සමුගත් ඇය උරුමකර දුන් වියෝ දුකින් ඔහුට අවට පෙනෙන මල් පෙති අග ඇති පිණි පොද පවා කඳුළු කැට යයි සිතේ. ඇයගේ මුහුණ වසා ලූ සුදු රෙදිකඩ මීදුම් සළුවක් සේ පෙනේ. සොබාදහම පවා අගේ නික්ම යෑමට නිහඬවම අවසර ලබා දී ඇත.

ඇය සමග ඔහු ගෙව් ආදරණීය කාලය සුන්දරය. ඒ වියෝව හමුවේ පවා සිහි වන්නේ ඒ පැරණි සුන්දර මතකයන් ය. දැන් ඒ මතක පමණක් ඉතිරි කරමින් ඇය ඔවුන්ගේ ආදරයට සමු දී යන්නට ගිහින් ය. ඒ නික්ම යෑම, ඒ සමුගැනීම ගැන සොබාදහම විසින් ඔහුට සිහි කර දේ. ඒ ඇය ආයෙමත් හමු නොවනා බව අඟවමිනි. නමුත් ඔහුට ඈත් සමග ගෙවූ වසන්ත සමයක් ඇත. ඒ නිසා ඔහුට ඉදිරියේ එන ගිම්හානයේ මහත් දුෂ්කර වනු ඇත. නමුත් සොබාදහම නැවත නැවතත්, ඔහුට ගෙවෙන හැම මොහොතකම ඒත්තු ගන්වයි.. ඇය යන්නට ගිහින් ඇති වග

Tuesday, March 1, 2022

ගොවියෝ තුන් දෙනා

 

 මිටියාවත පහළ සත්ත්ව ගොවිපළ තුනක් තිබුණා. මේ ගොවිපොළ හිමිකරුවන් ඒවා හොඳින් පවත්වාගෙන ගියා. ඔවුන් හරිම පොහොසතුන් වුණා. ඒ වගේම නාස්තිකාරයිනුත් වුණා.



මේ තුන් දෙනාගෙන් කවරෙකු ඔබට මුණගැසුනත් තුන් දෙනාම එක වගේ නාස්තිකාරයන් වගේම මහා ලොභයින් වුණා. ඔවුන්ගේ නම් තමයි බොගිස්, බන්ස් සහ බීන්.

බොගිස් කුකුළු ගොවිපොළ හිමිකරුවෙක්. ඔහු කුකුළන් දහස් ගණනක් ඇති කළා. ඔහු අතිශයින් මහතයි. තම්බා පිටිගුලියකින් වසන ලද කුකුළන් තිදෙනෙකු දිනපතා උදෑසන, දිවා සහ සන්ධ්‍යා ආහාරය වශයෙන් ගැනීම ඊට හේතු වුණා. 

බන්ස් පාත්තයන් සහ තාරාවුන් ඇති කළා. ඔහු සතුව පාත්තයන් සහ තාරාවුන් දහස් ගණනක් සිටියා. ඔහු තුන් කුඩු වූ අයෙකු වගේ වුණා. ලොව ඕනෑම පිහිනුම් තටාකයක නොගැඹුරු ස්ථානයේ සිටියත් ඔහුගේ නිකට දිය යට වදිනවා. ඔහු ඩෝනට් සහ පාත්ත අක්මා ආහාරයට ගත්තා. ඔහු පාත්ත අක්මා පොඩිකර අප්‍රියජනක තපලයක් සදා එය ඩෝන්ට් තුළ රුවා ආහාරයට ගත්තා. මෙම ආහාරය ඔහුට බඩේ රුදා සහ දරුණු කේන්තිය ගෙන ආවා.


බීන් කුකුළන් ඇතිකරන අතර ඇපල් වතු හිමිකරුවෙක් ද වුණා. ඇපල්වලින් පිරී ගිය වත්තක ඔහු කළුකුන් දහස් ගණනක් ඇති කළා. ඔහු කිසිඳු ආහාරයක් එකවර ගත්තේ නැහැ. ඔහුගේ ඇපල් වලින් පෙරණ ලද තනුක ඇපල් සයිඩර් (මත්පැන්) ගැලුන් ගණන් ඔහු විසින් පානය කරනු ලැබුවා. ඔහු පැන්සලක් මෙන් කෘෂ වූ අතර තිදෙනා අතරින් දක්ෂතමයා ද වූවා.

මේ තිදෙනා දුටු විට ළමයින් මෙහෙම මුමුණනමින් ගයන්නට පුරුදු වී සිටියා.

බෝගින්ස්, බන්ස් සමග බීන්

මහතා එකයි කොට මිනිහයි කැහැටු එකයි

මේ කපටියො තුන් දෙනා

ලෝභකමින් නම් අනේ

එකාට එකෙක් නෑ අනේ....



Monday, January 24, 2022

ඇයද මව් නම් විය - 12 කොටස (නිමි)

 

රූපය අන්තර්ජාලයෙන් උපුටගන්නා ලදී

"තාම මේ මාසේ කුලිය දුන්නෙත් නෑ නේද මේ ළමය.."

"අපිටත් මේ ටිකේ අමාරුයි ළමයෝ.. දරුවො දෙන්නටත් එන්න විදිහක් නෑ.. ඒ ගොල්ලොන්ටත් ඉතින් වැඩ රාජකාරිනෙ.."

 

"කොන්සට් එකේ ඇඳුම් මහලත් ඉවරයි.. අම්ම සල්ලි දෙන්න ඕන මහන කෙනාට... "

"අම්ම.. උත්සවේට තව දවස් තුනයි.. හෙට හරි අනිද්දා හරි සල්ලි ගෙවනව නෙ..."

"අම්..මේ. හැමදාම කන්න තියෙන්නෙ මේවා විතරද.."

 

"පිටින් එන අයට ළඟ ඉඳලම රෑ ශිෆ්ට් ඒකටත් ඉන්න වෙයි”

"භාහිරින් වැඩට ගන්න අය අඩු කරන්න තීන්දු කරල තියෙන්නෙ.. උඩින්. දැන්ම ගාමන්ට් එකෙන් ආවොත් ගන්නම්.. නැත්තම් කවද ගෙදර නවතින්න වෙයිද දන්නේ නෑ.. "

 

"අඩු ගානට වී හෙට්ටු කරන නිසා හම්බෙන්නෙත් දැන් සොච්චමයි.. ගිය කන්නෙත් වගාවක් හරියට නෑ"

"දැන් තාත්තට ඉස්සර වගේ එච්චර මහන්සියෙන් වැඩ කරන්නත් බෑ කෙල්ලෙ.. ඒ නිසා පොඩි එකත් දැන් ඉඳල හිටලා කුඹුරට එක්කං යනව"

 

මේ හැම සිරවීමකින්ම... ගැලවීමට ඇයට පෙනුණු, වැටුණු පාර අගාධයකි. නරකාදියකි. ඇය එයට දැන හෝ නොදැන පියවර තැබීය. තම දෙමව්පියන්ට, සහෝදරයාට උදව් කිරීමට, දරුවාට හා තමාට ජීවත් වීමට ඇය අකමැත්තෙන් වුවද ඒ තීරණය ගත්තාය. ඇය මැව් සිහින ජීවිතය හමාරවූයේ ඔහුත් සමග කොළඹ ඔහුගේ නිවසට ආ දවසේමය.

 

"අපි ගමේ තියෙන තාත්තලාගේ ඉඩමක පොඩි ගෙයක් හදන් එහෙ පදිංචි වෙමුද"...

"මොනාද අනේ.. බලන්න ලෙඩක් හැදුනහම බේතක් ගන්න හරියට තැනක් නෑ. මතකනෙ මට ඔයාලගේ ගමේ කකුල කැපිල වෙච්ච දේ. බස් එකක් අල්ල ගන්න පැය ගානක් ඉන්න ඕන. ඒ මදිවට මෙහෙ වගේ එක කඩයක් තියෙනවද. ලයිට් තියෙනවද.. ඔයාම කියන්න. කොහොම ඕවයෙ ඉන්නද අනේ... අපි ටික දවසක් මෙහෙම ඉඳල මං කිව්ව අර බෝඩිමට යං"

ඔහු නිතරම කී සැටි ඇයට දැනුදු මතක් වේ. නිතරම ඔහු කොළඹ ජීවිතයේ සැප පහසුව, දියුණුව ගැන කියමින් ඒ කතා මගහැර දමයි. ඒ ඔහු කුඩා කළ සිට හුරු පුරුදු වූ පරිසරය කොළඹ නිසා වෙන්නට පුළුවනි. නමුත් ඇය දැන් සැමියා නැතත් නගරයට වී සිටින්නේ මන්දැයි ඇයම නොදන්නිය. සමහරෙක් විට ඇය මේ කොළඹ හමනා චණ්ඩ සුළඟට හසුවූවා වන්නටද පුළුවන.

 

දැන් ඒ සියලු කතා අතීතයට ගොස් හමාරය. ඒ වෙනුවට ඔහුගෙන් ලැබුණු දරුවාත් සමග ඈ ඔහු කිව් ඒ බෝඩිම් ජීවිතය විඳිමින්, විඳවමින් සිට මුදලට විකිණෙනා එකියකි. ජීවිත් වීමට මුදල අත්‍යවශ්‍ය නිසා එය සපුරාගැනීමට විකිණෙනා එකියකි. ගමෙන් නගරයට අවුදින් ජීවිතය වරදාගත් එකියන් අතර එකියකි. ලිඳට වැටුණු එකා ළිං කටෙන්ම එන්නට ඕනෑ කියන්නා සේ ඈ කොළඹ අව්කාෂ්ට ජීවිතේ ජීවත් වීමට ඊට සරිලන අකාරයේ රැකියාවකට යොමුවුවාය. ගමේ ගෙව් ඒ නිදහස් ජීවිතය ගැන දැන් හාන්කවිසියකවත් ඇයට මතක නැති මුත් ගමට නොවරදවාම මුදල් යැව්වාය. ඒ සරල නිදහස වෙනුවට හිසමත අද මහා බරකි. මේ ඇය ගෙවන්නේ, ගෙවෙන්නේ ඇයගේ හොඳම වයසය. තරුණ අවදියය. තරුණ අවදියේ මේසා බරක් දරා සිටීම ගැන ඇය පැසසුම් ලැබිය යුතුය. නමුත් දැන් ඇය දොස් නගන රැකියාවක නිරතවෙමින් ඒ තරුණ වයස ගෙවා දමමින් සිටින්නීය. තම දරුවා වැඩිවියට උස්මහත් වෙද්දී ඇතිවන තත්වයද ඇය නොදන්නවාම නොවේ. ඒ වාගේම අවට සමාජයෙන් ඇතිවීමට හැකි අවලාද, අපහාස, ගැටළු ගැනද ඇය නොසිතුවාම නොවේ. ඒ සියල්ල දරා ගනිමින් ජීවත් වීම ඇත්තෙන්ම පැසසුම් ලැබිය යුතු නොවේද ..?.

 

නිමි-

Saturday, January 22, 2022

ඇයද මව් නම් විය - 11 කොටස

 


උඹ ගෙදර ගිහින් මුකුත් ගෙනාවේ නෑ....

මොනා ගේන්නද අක්කේ..

මේ තාත්ත එහෙම කතා කලාද.. මොකෝ දෙන්න කිව්වේ.. බැන්නද.

අම්මනං ඉතින් කෑ ගැහුව... තාත්ත කතා කලේ නැති තරං..

 

ආ කතාව නවත්ත ගත්තොත් හොඳයි.. සීත උඹ දැන් OT කරන්නේ නැද්ද.. මොකෝ ආයෙම මිනිහ සල්ලි එවන්න පටන්ගෙනද... නැත්තං හම්බෙන වෙන විදි තියෙ..න.වද. කියා සුපවයිසර් තැන සීතාට ලංවී ඇසුවේය.

මේ.. ඔයාවත් එන්නකො රෑ වැඩට. කවුරුත් නෑ අනේ රෑට..

මොක..ක්.ද සර්..

රෑ වැඩට ඉන්න බැරිද කියල ඇහුවෙ.. හැමදාම ඉතින් පුතා ළඟ ඉන්නත් බෑනෙ.. අනික අතට වැඩිපුර ගානකුත් හම්බෙන එකේ නේද සීත.

ඉන්න පුලුවන් නිසා නෙ ඔය ඉන්නේ සර්.. සීතා තමාට එනකන් සිටි අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් උස් හඬින් කීවාය. මුහුණ හතරැස් කරගත් සුපවයිසර් සිනාසෙන ඇය හා සීතා දෙස මොහොතක් බලා සිට යන්නට විය.

උඹ එහෙම කිව්වහම මිනිහගේ මුණ පුස්වෙලා ගියා..

කොහොමත් ඕකට තියෙන්නේ පුස් මුණක්නෙ.. උදේට දැක්කොත් ඉවරයි.

ගෑනි කොහොම ඉන්නවද මංද..

ගෑනිත් මූත් එක්ක ඉන්නේ නැති නිසා මෙහෙ කෙල්ලන්ට ලයින් දානව.. සෙවලය. මට ඕකව පෙන්නන බෑ..

ගණන් ගන්න එපා..

මේ ඒක නෙමේ, කිව්වත් වගේ දැන් උඹ ඔය සල්ලි, ඉස්කොලේටයි බෝඩිමටයි දෙන්න තියෙන ඒව.. කොහින් හොයන්නද.. උඹ ගෙදර ගියේ අම්මලාගෙන් ඉල්ල්නද..

 

අනේ නෑ අක්කේ.. ආයෙ ඒගොල්ලන්ට කරදර කරන්න මං කැමති නෑ. දුන්නු වද මැදෑ.. කියමින් ඇය වැඩ ඇරී ගෙදර යන මග දිගටද කල්පනා කළේ පෙර පාසල් උත්සවයට ලබා දීමට අවැසි මුදල් සොයා ගන්නේ කෙසේදැයි කියාය. නැවතත් ගමට යන්නට කොහෙත්ම බැරිය. ගමේ ජීවිතය සිතින් දියවී ගොස් නගරයේ ගුඪ ජීවිතයට මුහුවී හෝ මුහුවෙන්නට කැමැත්තක් සිතේ ඇයටත් නොදැනීම ඇතිවී ඇත. දරුවා පෙර පාසල් නොයවා ගෙදර තියාගෙනත් බැරිය. තියා ගන්නට විදියක්ද නැත. කුමක් කරම් දැයි විවිධ සිතිවිලි අතරේ අතරමංව සිටි ඇයගේ සිතට හදිසියේම ආවේ එක් දිනක් පෙර පාසලේ ගුරුතුමිය කළ යෝජනාවය. සල්ලි හම්බ කිරීමට නොකරන දෙයක් මේ පොළොවේ අය ළඟ නැත. මව මරා හෝ දේපළ තමන් සතු කරගැනීමට වලිකන අයද, බිරිඳ උගස්කර හෝ සල්ලි හම්බකිරීමට උත්සහ කරන අයද මේ කොළඹ නැතුවා නොවේ. එහෙව් එකේ මෙවන් රැකියා කර හෝ තම ජීවතය ගැටගසා ගන්නා කාන්තාවන් අනන්තවත් මේ කොලොම් තොටේ නොඅඩුව සිටිනා බව ඇය හොඳාකාරවම දැනී. ඒ බව පුවත්පත්වලින් හමුවන ලැගුම්හල්, ස්පා දැන්වීම්වලින්ද මනාව ඔප්පුවේ. ලංකාවේ මෙතරම් නවාතැන් නැති අය සිටිත්ද? මේ තරමටම සම්බාහනයට කැමති අය සිටින්නට පුළුවනිද?.. එක අතකින් අහන අහන කෙනා ළඟ සල්ලි නැත්තෙත්, මෙවන් තැන්වල හා මත්පැන් හල් ඇතුළු සියලුම දුසිරිත් වඩවන තැන්වල ගැවසෙන්න හින්දාද.. හැමදෙනාම මේ දුසිරිත්වලින් සන්තර්පණය වී මුදල් නැති නාස්ති කරගන්නා අයද... මෙවන් දහසකුත් සිතුවිලි මැද ඇය කුලී නිවාස කරා මහත් මානසික විඩාවකින්ද, හවස පවා වදදෙන හිරු රශ්මියෙන් ඇතිවන ගතේ විඩාවකින්ද පෙළෙමින් පැමිණියාය. සිතුවිලි සයුරේ ගිලී එලෙස එන ගමනේ පාරේ යන වාහන වලින් ඇය නොගැටී බේරුනේ අනුනමයෙනි.

 _______________________________

 

කන්න මේ කටත්.. කෝ අන්තිම කටවල් ටික. පුතා..

ඇති අම්මේ..

මේ පුතා. අර එදා අපිත් එක්ක කතා කරපු ටීච ආයි මොනා හරි ඔයාගෙන් ඇහුවද..

කවුද අම්මෙ.. අර සුදු උස ටීචද..

ඔව්.. එදා මං ඉස්කෝලේ ආපුහාම කතා කරේ..

ඇහුව.. ඉන්නේ කොහිද.. අම්ම තාම වැඩට යනවද කියල

ඔයාලට ඒ ටීච උගන්නන්න එනවද...

නෑ.. ටීච ඉන්නේ ඒහා පන්තියේ..

ආයේ ඒ ටීච දැක්කොත් මගඇරල ඉන්න හොඳද පුතා..

 

පෙර පාසල් ගුරුවරිය ගෙදර සොයාගෙන එන්නටද බැරි නැත. ලිපිනය කාර්යාලයෙන් ලබා ගත හැක. ඒ මදිවාද ඇයගේ ළඟ තම කුලී නිවසෙ දුරකථන අංකයද ඇත. මේ කඩා පාත්වූ කරදරය කුමක්ද යැයි ඇයට සිතා ගැනීමට නොහැක. සල්ලි සෙවීමට මෙවන් ක්‍රමයක් කියාදෙන ගුරුතුමියක් කෙසේ නම් ළමයින්ගේ දෑස් පාදන්නද. අනාගයේ යා යුතු මග කෙලෙස මේ දරුවන්ට කියා දෙන්නද. තම පාසල් කාලයේ ඉගැන්වූ ගුරු ඇදුරන් ඇයට නිතැතින්ම මතක් වේ. එම ගුරුවරු පඩිපතට පමණක් ඉගැන්වීම සිදුකළේ නැත. ජීවිතයට අවශ්‍ය ශක්තියද, දිරියද ලබා දෙමින් හරි මග ගෙන එහි යෑමට අත්වැල සැපයූහ. තම බත් පත අසරණ දරුවෙක්ට දී සහෝදර ගුරුවරුන් එක බත්පත කන අවස්ථා ඕනෑ තරම් ඇය ඒ දිනවල දැක ඇත. එදා එසේ වෙද්දි අද ගුරුවරියක් තම පාසලේ දරුවෙකුගේ මවකට මුදල් සෙවීමේ මාර්ගයක් ලෙස අයුතු මාර්ගයක් පෙන්වා දෙයි.

Monday, January 3, 2022

ඇයද මව් නම් විය - 10 කොටස

 


උඹ ගිය දවසේ තාත්ත මාව කම්මුතු කරේ නැති ටික විතරයි. පහු පහු වෙනකොට ටිකක් හරි ගියා. දැන් උඹ ඉන්නේ ඔය මැරිච්ච මිනිහගේ ගෙදරද.. නැත්තං වෙනමද...

 

නෑ වෙනම අම්.මෙ.. ඒ වචනය ඇය අවුරුදු කීපයකට පසු කීවේ වෙවුලුම් කන දෙතොලිනි. දැන් තමුන්ද තම අම්මා මෙන්, අම්මා කෙනෙක් වී අවුරුදු කිහිපයක් ගෙවා දමා ඇත. ආ හැටියේ මව දෙදෙනා දෙසම බලා කඳුළු වගුරුවමින් කතා කරන විට ඇයටද නොහඩා සිටීමට සිතේ කිසිඳු දහිරියක් නොවීය. පැය කිහිපයකට පසු කුඹුරට ගොස් ගෙදර එන තවතවත් රැළිගැසුණු හා ඉර අව්වට පිළිස්සුනු හම සහිත පියා දැක ඇයට තව තවත් දුකක් මෙන්ම කිසියම් භයක්ද ඇතිවිය. නමුත් පියා වචනයක්වත් නොදොඩාම පුරුදු පරිදි පිටුපස දෙසිං ගෙට ඇතුළු විය. මව ඔහුට දවල් ආහාරය පිළියෙළ කර දීම සඳහා ඇයත්, දරුවාත් තනිකරමින් කුස්සියට පිටත්විනි.

 

කෝ පුතා මෙහෙට එන්න.. මෙතනින් ඉඳගන්න

ඒ ආවේ කවුද අම්..මේ

ඒ තමයි පුතේ පුතාගේ අම්මගේ, අම්මයි තාත්තයි. ඒ ආවේ පුතාගේ සීය.. දැන් ඇතුළට ගියේ ආච්චි

එතකොට අපි ඉන්න තැන ඉන්න ආච්චියි, සීයයි අපේ නෙමේද..

නෑ පු..තා. ඒගොල්ලෝ අපේම අය නෙමේ..

අම්මේ අපි මෙහෙ ඉන්නවද..

පුතා කැමති මෙහෙ ඉන්නද .. නැත්තං හිටපු ගෙදර ඉන්නද

අම්ම ඉන්න කැමැති කොහිටද..

 

එයට එක එල්ලේම උත්තරයක් දීමට ඇයට නොහැක. කොළඹ කුඩා ගෙදරට වඩා අක්කර භාගයක් හිමි ඉඩමේ සාදා ඇති මෙම නිවසේ ඉඩකඩ ඇති තරම් ඇත. අක්කාද එන්නේ මාස 2කට සැරයක්ය. මල්ලීත් නිතරම ගෙදර නැත. එහෙත් නැවත දෙමාපියන්ට බරක් වීමට ඇයට නොහැකිය. ඒවගේම කොළඹ ජීවිතයට දැන් ඇය හුරිවී හමාරය. අකමැති වුවත් හිත ඇත්තේද කොළඹ හිරවී ගෙවන ජීවිතයටය. මේ කල්පනාව අස්සේ හිරු අවරට ගොස් ඇති නිසා අම්මා පැමිණ කුප්පි ලාම්පුව පත්තුකර සිටියාය. ඒ මොහොතේම ආ පළගැටික් එහි වැදී එතනම පිච්චී වැටිණි.

 

මේ බලපං මේ කොලුවා ඇදිල ගිහිල්ල... උඹ දැන් තනියෙම මොකක් කරනවද.. ඔය හත්දීපංකරවල.. වරෙන් මෙහෙ. ඇවිත් ඉන්න බැරිය..

ඔය යන ගමන් උදේකට තියා ගත්ත..නම්. ඒ හඬ ඇයගේ පියාගෙන්ය.

නෑ.. මේ මං කිව්වේ තනියෙම ළමයත් එක්ක ඉන්න එකේ.. දෙන්නටම මෙහෙ ඇවිත් ඉන්න කියල... අපේ මහත්තය..

මං යනව.. උක්කුවලගේ දිහා.. කෝ පොඩි එකා..

තාම ආවේ නෑ.. එහෙම තාමා ඇත්තේ. එන්න කියන්න අක්කත් ඇවිත් කියල..

හ..හ්ම්.. හ්ම්..

මල්ලි හැමදාම එහෙ යනවද.. අම්..මේ

අනේ මන්ද ඉතින්.. ඌයි අර රංගීගෙ නංගියි, මැරිච්ච සියාතුගේ ලමයයි දවසෙම ඇවිද ඇවිද ඉන්නව... එහෙන් මෙහෙටයි, මෙහෙන් එහෙටයි..

 

එදා ගමෙන් යද්දී තම මල්ලි හා රංගිගේ නැගෙණියත් සත් හැවිරිදි වියේ පසුවිය. එසේ නම් දෙදෙනාම දැන් 12වයසේ පමණ විය යුතුය. කුඩා කල සිට දඟකාර කමට හැදුණු දෙදෙනාම වෙනස් නොවී ඇති සැටියකි. අම්මාද, තාත්තාද, ගමද කිසිවක් නොවෙනස්ව තමාගේ වෙනස්වීම පමණක් විදහාපාන්නට හදනා සැටි යැයි ඇයගේ සිතට හැඟෙ. ගෙදරද එදා ගමෙන් ගිය දවසේ මෙන් බිත්ති පැහැය පවා වෙනස් නොවෙමින් එලෙසම තිබේ.  එදා කුප්පි ලාම්පුව අදටත් මද එළියක් විහිදුවමින් දැල්වේ. නමුත් ඇත්තටම නියම කළුවර ඇත්තේ හැමතැනම බල්බ් වැල් එල්ලෙන නගරයේය. එහි සිටිනා අයගේ සිත්වලය. ඇයට මොහොතකට කුප්පි ලාම්පුව වෙත ඇදෙන පලගැටි දෙස බලමින් සිටිද්දී සිතුණාය.