Monday, October 18, 2021

ඇයද මව් නම් විය - 7 කොටස

 

මේ ඔයා අර කලින් කිව්වේ යාලුවෙලා හිටිය ගෑණු ළමයෙක් ගැන..

ඔව්... ඉතින් මොකටද ඕව දැන් හාරන්නේ. ආයේම

ඒක ගෙදර අයත් දන්නවද..

ඔව්.. ඔව්

ඒ කෙල්ලගේ තාත්තගේ නම සයිමන්ද..

මං දන්නේ නෑ.. දැන් ඇයි අහන්නෙ.

හරි.. හරි. මේ අපි ගමේ ඉඩමක් අරගෙන ගෙයක් හදමුද..

මොන පිස්සුද.. කොළඹ ඉන්න කෙනෙක් ගමේ යයිද.. ගමේ අයත් එන්න දඟලනවා කොළඹ.. මෙයා මේ පිස්සු කතා කරනවා..

මොකක්ද අනේ මෙහෙ තියෙන හොඳේ...

හරි ඉන්න..කෝ අපේම තැනකට යනකං. මෙහෙ පහසුකං ගමේ නෑනෙ අනේ..

මෙහෙ තියෙනව හැමදේම.. සල්ලි තියෙනකං. ඈ සද්දෙට කීවාය.

ඔයාට කේන්ති ගිහින්ද මණික.. අනේ ඉතින් ගමේ යන්න මට බෑ සුදු.. මෙහෙ ඉමුකො..

 

ඇය ඔහුට කැමැත්ත දුන්නේ මේ අහිංසක කම නිසාය. ඇරත් ඔහු මෙන් ඇයද අහිංසක යුවතියකි. ගමේ පන්සලේ දාන සාලාව හදන්න ආ අය අතරට ඔහුගේ පැමිණීමත් සමග හාදකම ඇතිවීමට මුලපිරිනි. ඒ ඇය හැම පොහොයකටම, ඉරිදාවකටම, බණකට, පිරිතකටම රංගිගේ නංගිත් සමග පන්සලට යන නිසාවෙනි. කිසිම පිරිමියෙකු සමග කතා නොකරන ඇය ඔහු සමග කතා කරන්නට පටන් ගත්තේද මේ ඔහුගේ අහිංසක කම නිසාවෙනි.

 

*********

නංගි මේ ළඟ වෙළුම් පටියක් ගන්න තැනක් නැද්ද.. ඒ ඔහුගෙන් ඇයවෙත ආ  මුල්ම ඇමතීමය. නමුත් එය ගණන් නොගෙන සිටින විටදී කතාවට ඉදිරිපත් වූයේ රංගිගේ නංගිය.

නෑ අයියෙ.. හන්දියේ කඩේ විතරයි තියෙන්නේ..

ලඟම පාර මේ මහපාර විතරද..

නෑ අර වැව් බැම්මෙන් පහලට ගියහම දකුණට කඩේ ලඟයි.. එලෙස ඇය හඬ අවදි කළේ ඔහු කුමක් හෝ අකරතැබ්බයකට පත්ව ඇතිබව පෙනුණු නිසාත් නංගි පාරවල් නොදන්නා නිසාත්ය.

මොකටද වෙළුම් පටි...

අර පහළ කන්ඩියට පය තියන කොටම බෝතල් කට්ටකට ගියා කකුල..

ආනේ හුඟක් ලේ යනවා... රංගිගේ නංගි කෑ ගසා කීවාය.

ඔහොම ඉන්න.. නංගි ගිහින් අර පන්සලේ ඉන්න බණ්ඩා මාමට එන්න කියන්න.

කමක් නෑ.. මේ ටික මං යන්න

කෝ ඔයත් එක්ක වැඩට ආපු අනිත් කට්..ටිය..

එයා..ල මේ මේ ළඟ කසි..ප්.පු.. පෙරන තැනක් තියෙනව කියල ගියා

පන්සලේ වැඩට ඇවිත් බීල හරියනවද..

 

ඒ ඔවුන් දෙදෙනාගේ ප්‍රථම හමුවීමය. එයත් හුදු අහම්බයකි. ජීවිතයම අහම්බයක්ද නැතිනම් දෛවය කියා දෙයකින් මිනිසුන් හසුරුවනවාද යන්න හැම මොහොතකම ඇයව නිරුත්තර කළ ප්‍රශ්නයකි. ජීවිතයද උත්තර නැති ප්‍රශ්න වැලකි. එසේනම් දෛවය කියා කලින් සැලසුම් වූ හෝ සැලසුම් කළ දෙයක් ලෙස තිබිය නොහැකිය. සමහරෙක් විට දෛවයද අහම්බයක් වන්නට පුළුවනි. නැතිනම් අහම්බය දෛවය වන්නටද පුළුවනි. මේ කුමක් හෝ තමා, මියගිය සැමියා, තම දරුවාද, රංගි, සීතා, තම දෙමව්පියෝ ඇතුළු සැම එහි හිරවී සිටිනා ඉත්තන් මෙන් දිස්වන බව ඇය තේරුම් ගත්තාය.

 

නංගි ඔයාල හැමදාම වගේ එනවද...

නෑ ඉරිදාටයි, පෝයටයි නම් එනව.. අනිත් දවස්වල අක්කට හිතුනොත් තමා.. රංගිගේ නැගෙණිය පිළිතුරු දුන්නාය.

එදා කරපු උදව්වට ගොඩක් ස්තූ..තියි..

දැන් කකුල හොඳයිද..

ඔව්.. ඔ..ව්. නංගිලා මේ ලඟද

ඔව් අයියේ පහළ කුඹුරෙන් එහා.. නැවතත් රංගිගේ නැගෙණිය පිළිතුරු බැන්දාය.

මේ නංගිගේ නම මොක..ක්..ද

මේ නංගි යං හවස පුජාවත් පහු..වෙයි.. කියා ඇය නැගෙණියවත් අල්ලාගෙන යන්නට පටන්ගත්තාය.

ආ.. පරිස්සමින් යන්න නංගි බුදුසරණයි..

බුදුසර..ණ..යි අයියේ. යනවා.. කියා රංගිගේ නැගෙණිය යනින් ගමනින් කෑ ගසා කීවාය.

කෑ ගහන්නැතුව එන්..න නංගි


ගමේ පන්සල

චායාරූ අන්තර්ජාලයෙනි


Sunday, October 17, 2021

ඇයද මව් නම් විය - 6 කොටස

 

අලුත් ගවුමක්...

ඔව් බං ඊයේ ළමයි දෙන්නටයි, මටයි ඇඳුම් ගත්ත..

හ්ම්..

උඹ මොකද ඇද වෙලා.. මං දන්නවා උඹ හිතන එක....

එහෙම එකක් නෑ.. මං කල්පනා කරේ ගමේ යන්නේ කවද්ද කියල.

හ්ම්.. මං හිතුව උඹ මං ගැ...න..

මං මොනා හිතන්..නද...

මොනා කරන්නද බං.. මං කෑදර කමකට මෙහෙම කරනව නෙමෙයිනෙ.. පොඩි උන් දෙන්නව ඇඳුම් ගන්න එක්ක ගිහාම මටත් එකක් ගන්න කියල පොරේ.. බැරිම තැන ගාන අඩුවට තිබ්බ මේක ගත්ත...

හ්ම්.. ඔය හොඳට තියෙන්නේ.

තියෙනව ඉතින්..

ඔය කෙනා දැන් ගෙදර තියෙන තැන දන්නේ නැද්ද..

දන්නව.. ඒත් එන්නෙ නෑ. මිනිහට ඕන උනහම විතරක් ඉතින් වැඩ නැති දවසට දෙතුන් සැරයක් කෝල් කරනව..

කොහොමද ඔයාගේ නම්බර් එක දන්නෙ..

ඇයි බං මං කිව්වේ වැරදිලා ආපූ කෝල් එකකින් සෙට් උනේ කියල.. මටත් වෙන කරන්න දෙයක් නැති කමට නංගියෝ... සල්ලි නැතිම කමට ඉ..ති.න්..

අක්කල දැන් ඉන්න ගෙදර කාටද අයිති..

අරුට තමයි..

අයෙ කතා කරල බැලුවෙ නෑ..

කාටද අරුටද.. ආයෙ කතා කරන්නෑ...

එත්...

 

ඇයට තම සැමියාගේ ගෙදර ගෙවූ කෙටි කාලය මතක් විය. නිතරම සරදම් කරනා නැන්දම්මා, වැඩිමල් නැගෙණිය හා බීගෙන ගෙදර එන පියා. ඇයට ආ මුල් දිනවල අපායකට පැමිණියා සේ දැනෙන්නට වුවාය. කාමර දෙකත්, කුඩා සාලය හා කුස්සියත්, වැසිකිලියට යන්නට තිබෙන කුඩා මාර්ගයත් දැක ඇයට සිහි එලවා ගැනීමට මොහොතකට අපහසු විය. සැමියා සමග නිදියන්නට වූයේ පැදුරුකඩක් එලාගත් සාලයේ, පියා නිදාගන්නා තැනට ටිකක් එහායින් වෙන්නටය.

 

මේ ටිකේ මෙහෙම ඉමු හොඳේ.. ලබන මාසේ විතර කාමරයක් ගමු කුලියට..

කාම..ර.යක්.

ඔව් .. කෝ ඉතින්.. එන්න.

අ..නේ මේ. තාත්තත් මෙත..න එහාට වෙන්නකෝ

හරි හරි එයාට හොඳටම වෙරි..  කාමරේ ගත්ත දවසට අපි දෙන්නට විතරක් තනියම ඉන්න පුලුවන්..

 

කාමර..ය.ක්.. ඇයට ප්‍රහේලිකාවකි. හතර දෙනෙක්ට මේ පොඩි ගෙයත් මදි තැන තනි කාමරයක් දෙදෙනෙකුට අරගෙන කුමක් කරන්නද?. කෑම උයන්න, ඇඳුම් අඳින්න, නිදා ගන්න යන සියල්ලටම එක කාමරයක්, බිත්ති හතරකින් වටවූ එක් තැනක්... ඒ මදිවට දැන් තවත් කෙනෙක් මෙලොවට එන්නටද නියමිතය. මේ සියල්ල මතක් වී ඇය සාලයේ සැමියා සමග නිරුවත්ව අසිහියෙන් මෙන් සිටියේ පියාද වෙරි මරගාතේ දඟලමින් සිටියදීය.

**********

හොඳයි. පොඩි නෝනා හාමු නැගිටින වෙලාව..

නෑ.. අම්..මේ පොඩ්ඩක් නින්ද ගියා

ඔව් ඉතින්. මහ රෑ වෙනකන් වැඩනේ මේ ගෙදර..

හුම්... මං ඕව සුද්ද කරන්නම්. අර ටික හෝදලා දාන්නකෝ. සැමියාගේ වැඩිමල් සොයුරියද කතාවට හිනාවෙමින් ඇයට වැඩ පවරයි.

අම්මේ මං යනව...   මේ  මං යනව හොඳේ..

ඔහොම ඉන්න ළමයෝ කාල පලයන්..

කන්න ඉතින් තාම උයල නෑනෙ..

කට්ටියට ඉතින් වැ..ඩ.නේ. තවමත් සහෝදරිය පහු වී අවදිවීම ගැන ඇනුම්පද කියයි.

කෝ උඹ තාම හෝදලා ඉවර නැද්ද.. අතගානව මෙතන. අපේ එකත් ගොන් නාම්බනෙ.. අර සයිමගේ කෙල්ලව අතෑරලා වෙන ඒව හොයන් ගියා.. දැන් ඔය හම්බෙලා තියෙන්නේ..

 

ඇය ගමෙන් ඔහු සමග ආවේ මෙවන් දෙයක් සිහිනෙකුඳු බලාපොරොත්තු නොවෙමිනි. දැන් ඉතින් කුමක් වුවත් ආ තැනට හැඩගැසීමට සිදුවේ. ඇනුම් බැනුම් අසාගෙන ඉන්නට සිදුවේ. සැමියාට ගතු කියාද පලක් නැත. එයින් වන්නේ තවතවත් ගැට‍ළුව දුරදිග යෑමය. මේ ගෙදරින් යනකං සිදුවන හැමදෙයක්ම විඳදරා ගෙන නිහඬව සිටීමට ඇය ආ දිනයේම සිත හදා ගත්තාය. ගැටුමකට යනවාට වඩා සාමකාමීව ගැට‍ළුව විසඳෙන තුරු සිටීම නුවනට හුරුය.


චායාරූ අන්තර්ජාලයෙනි


Saturday, October 16, 2021

ඇයද මව් නම් විය - 5 කොටස

 

සෙනසුරාද සහ ඉරිදා දිනවල ඇය වැඩට නොයා දරුවා බලාගැනීම සඳහා කුලී නිවසෙ රැඳේ. මෙවන් සමහරෙක් දිනවල දවල්ට කඩයකින් කා දරුවා සෙල්ලං කරන්නටද රැගෙන යෑමට ඇය පුරුදුවී සිටියාය. සෑම සති අන්තයකම එය කරන්නට නොහැක්කේ වියදම වැඩි නිසාවෙනි. කුලී නිවසෙ රැඳී සිටිද්දී වයසක ජෝඩුවගේ කතාවෙන් බේරීමට ඇයට බැරිවේ. ඔවුන් දෙදෙනාගේ දරුවන්ද ලොකුමහත් වී පිටරට රැකියාවල නිරතව සිටිනා අතර අවුරුද්ද අවසානයේ ලැබෙන නිවාඩුවට පමණක් පැමිණේ. ඒත් වැඩි හරියක්ම ලංකාවේ තිබෙන දේපළවල තත්වය බැලීමට වාගේ යැයි ඇයට නිතර සිතෙයි. සල්ලි එවන්නේද වැඩිමහල් දියණිය පමණි. එයත් මාස තුන හතරකට වරකි. නොලැබෙන වාරද බොහෝය. ඉරිදා දිනවල උදේ වරුවේ දුරකථනය අසල රැඳෙන මහලු කත දහවලට එයින් ඈත්ව රූපවාහිනිය කර යන්නේ "දෙන්නම වැඩ වෙන්න ඇති.. කොහෙද ඉතින් ලොකු තානාන්තර ඉහිලුවම කන්න බොන්නවත් වෙලාවක් තියෙන එකක් ඈ.." කියා සිත සාදා ගනිමිනි.

 

ඈ ළමයෝ, දැන් ඔය ළමයගේ වයස කීයක් වෙනවද..

තාම 21යි..

හ්ම්.. ආයේ බඳින්නේ නෑ?..

න්..නෑ ඇන්ටි..

හ්..ම්. ලමයව ඉතින් ඔහොම තනියෙම බලාගන්න පුලුවන්ද හැමදාම.. අනික රස්සාවක් කරකර..

පුතා ඉස්කෝලේ යන්න ගත්තහම ඩේ-කෙයා එකකට දාල වැඩට යන්න හිතන් ඉන්නේ..

ඔව් ඉතින් එහෙමත් පුළුවන්.. මෙහෙ ඉතින් දිගටම ඉන්නත් බැරියැ. මොකෝ ඉඩ නැති එකක් ඈ..

හ්ම්...

ඔය ළමය මේ මාසේ කුලිය දුන්නද ළමයෝ..

ඔව් ඇන්ටි.. දුන්න.

කොහි.. මතකයක් තියෙන එකක් ඈ..

හ්.ම්..

ගිය සැරේ ක්‍රිස්මස් එකට ලොකු පුතා ගෙනත් දුන්න tv එක නිසා හොඳයි. නැත්තං ඉතින් මොනා කරනද.. දවසම බුදියගන්න කියල ද. හොඳම වර්ගයේ එකක්.. ඒත් මං ගේන්න එපා කියලත් කිව්ව. කෝ ඇහුවද. දුවනම් ඉතින් හැම සැරේම චොකලට් පෙට්ටියක් එවනව.. ගිය සැරේ එවපුව වටේට බෙදල ඉතුරුත් උනා. චූටි පුතා තමා අර කෝපි මැෂිම ගෙනත් දුන්නෙ. නිකාන් සල්ලි වියදං කරනවනෙ.. මේ සැරෙත් මොන මොනා උස්සගෙන එයිද මන්ද..

මේ මහලු කාන්තාව තමාටත් වඩා අසරණ බව විටෙක ඇයට සිතෙයි. දරුවන් ගෙනත් දුන් දේවල් බල බලා සතුටුවන අතර බලා කියා ගන්න ඒ අය ළඟ නැති නිසා ඇතිවන සාංකාවට කා හටවත් දොස් නොකියයි. නිතරම ඒ අය ගැන සිතමින්ම තවතවත් දුකට පත්වෙමින් ඒ අය එනතුරු මග බලා හිඳී.

ගෙවල් පැත්තේ එහෙම ගිහින් එන්න හිතක් නැද්ද තාම ළමයෝ..

යන්.න..ත් ඕන.

මොනා උනත් ඉතින් බලං ඇති එනකං... කියමින් මහලු කාන්තාව තම සිතේ තිබූ සිතිවිලිද කියා දැම්මා වන්නට පුළුවනි.

 

ඇය ගෙදරින් කතාකළ මනමාලයාට අකමැතිව තම පෙම්වතා සමග ගෙදරටත් නොකියාම ආවේ වෙනින් කරන්නට දෙයක් නොමැතිම තැනය. දැන් කබලෙන් ලිපට වැටුණා සේ, පත්ව ඇති තත්වයට දෙමාපියන් වග නොකිවයුතු අතර ඔවුන් බැලීමට කවදා හෝ යා යුතු බව ඇයගේ සිත නිතරම කියයි. තමන්ට සිදුව තිබෙන අකරතැබ්බය ගෙදරට ආරංචිව ඇති බව ඇය දැනී. ගිය දිනයක එයට අසන්නට වන නොහොඳ නෝක්කාඩු කතා ද බොහෝ වන්නට පුළුවනි. අම්මත්, තාත්තත්, අක්කත් සමග ගෙව් ගමේ ජීවිතය මෙයට වඩා දුක් කම්කටොලු වැඩිද අඩුද කියා කිරා මැනා බැලීමට ඇයට නොහැකිය. දෙකෙහිම එක සමානව දුක තැවරී ඇත. එහෙත් ගමේ තිබූ හිතේ නිදහස මේ ගෙවනා කොළඹ අව්වේ කිසි දිනෙක ඇය අත්විඳ නැතිවාය. කුමක් හෝ කා හෝ නොකා හෝ හිතේ නිදහසින් වැටී සිටීමට ගොම ගෑ පොළොව ඇත. හිසට ඉහළින් පොල්අතු සෙවිලිකළ වහල ඇත. දැන් කුලියට, පරාල යෙදූ ෂීට් වහල ඇත. කුලිය ගෙවීමට නොහැකි දවසක හිස් අහසේ පිහිට පමණි.

 

අම්...මෙ. බඩ..ගි.නි.

යං පුතා අම්මත් එක්කම කමු..

දවල්ටත් සම්බෝලයි, පරිප්පුයිද...

යං පුතා tv එක බල බල කන්න හොඳේ..

දවල්ට කාටුන් නෑ..නෙ

හරි දැන් යන් එකක් බල බල කමු...

මට ඇති..

Thursday, October 14, 2021

ඇයද මව් නම් විය - 4 කොටස

 

පුතා අද මොකද මොන්ඩිසොරියේ කරේ..

මල් ඇ..න්ඳ. කතා ඇහුව...

මුළු දවසම එච්චරද කරේ..

කෑවා. අමායා එක්ක සෙල්ලංකරා... අම්..මේ උත්සවේට සල්ලි දෙන්නේ කවද්ද කියල ලොකු ටීචර් ඇහුව..

හ්ම්.. පුතූ ඔයාට ඔය උත්සවේට යන්නම ඕන..ද

අමායාත් යනවනෙ අම්මේ..

ඔයාට එක යාලුවද තාම ඉන්නේ ආ.. හැමදේටම අමායා.

අම්ම..ට යාළුවො කීයක් ඉන්නවද...

 

පාසල් යන කාලේ ඇයට හිටිය හොඳම යාළුවා රංගිය. රංගි ඇරුණු කොට ඇයට යහළුවෝ යයි කීමට හිටියේ රංගිගේ නැගෙණියත්, තම වැඩිමහල් සහෝදරියත් පමණි. එතරම්ම ඇය ආශ්‍රය කරන පිරිස අල්ප විනි. රංගි කසාද බැඳ පිටරට යෑමත්, තම සහෝදරිය අනුරාධපුර තම සැමියාගේ ගෙදර වාසයට යෑමත් සමග ඒ ඇයිහොඳයිකම්ද ඇයගෙන් දුරස් විනි. දැන් තම දරුවාද තම ආරයටම හැඩගැසෙනවා නේදැයි ඇයට සැකයක් ඇතිවිනි. එහෙම ඉන්න එකත් එක අතකට හොඳයි... යනුවෙන් සිත සිතා සිටිද්දී උත්සවයට දෙන සල්ලි හොයා ගන්නේ කෙසේදැයි මතක් වී ඇයට දෙලොව රත්විය. දරුවා උත්සවයට යෑමට දැඩි කැමැත්තක් දක්වන බැවින් නොගොස් සිටීමටද බැරිය. ඒත් සල්ලි සොයා ගැනීමට කිසිඳු මගක්ද නැතිය.

චායාරූ අන්තර්ජාලයෙනි


 

ඈ බං උඹ තාම රස්සාව කරත් හරි ඇඳුමක් ගත්තේ නෑ නෙ..

ඕවට කොහෙ තියෙන සල්ලිද....

වැඩක් නෑ බං කියල.. එහෙන් පොඩි එකා කියනව ඌට අලුත් සපත්තු දෙකක් අරං දෙන්න කියල. දුව කියනව ගවුමක් මහල දෙන්න කියල.. උන්ට තේරෙන්නෙ නෑ සල්ලි හොයන්න අපි විඳින දුක...

එතකොට අයි..යා..

එන පාටක් නෑ. ළමයින්ටත් දැන් ගානක් නෑ... පොඩි එකානං ඉස්සර නිදියගන්නකොට මතක් කරනව.. එච්චරම තමයි. උන්ගෙ අම්මලටත් කිසි ගානක් නෑ.. ඔය මට බැන බැන ඉන්න තිබ්බොත් උන්ට ඒ ඇති.

සල්ලි එව්වෙත් නැද්ද..

කොහි.. ඇයි අරකිට පුදනව ඇති ඔක්කොම....

එතකොට අර දෙන්න තිබ්බ පොලී සල්ලි හොයා ගත්තේ කොහොමද.

උ..ඹට කියන්න දෙයක් තියෙනව බං. ඒක මං පස්සේ කියන්නම්කෝ....

 

ඒ කතාව මොකක් වන්නට පුළුවනිද.. සීත අක්කටද තමාට මෙන් මුදල් අවශ්‍යතාවයක මිස වෙනත් සබඳකමක අවශ්‍යතාවක් තිබෙන්නට බැරිය. එහෙත් එදා බයික් එකකින් සීත අක්කාව හමුවන්නට ආ පිරිමියා කවුද?. සීත අක්කා වෙනත් කෙනෙක් සමග පැටලී ඇත්නම්... හමුදාවේ සැමියා මෙය දැනගතහොත්... කුමකින් කුමක් වේද කියා සිතද්දී ඇයගෙ සිත මහත් ලෙස කැළඹිනි.

******

 

මේ උඹ අර කියපු දේ ගැන මොකද හිතන්නේ...

අම්..මෝ. ඊට වඩා හොඳයි හිඟා කනව..

හිඟා කන්නත් පුළුවන් බං. පිනකට කැමති උන් ඉන්නවනම්... හැම එකාටම ඕන අපෙ රීරිමාන්සෙ කන්න..

ඒ වගේද ඕවට ගිහින් අහු උනොත්...

අහුවෙන්නේ කවුද බං..

ඒ උනාට අම්..මෝ...

මොනා කරන්නද බං.. දරුවෝ දෙන්නට කන්න දෙන්නත් එපෑ.. මොකෝ බඩකින්නෙ තියන්නද. මනුස්සය කියන එකා දැකල නෑ හත් අවුරුද්දකින්. හැදුවනම් උස්මහත් කරන්නත් එපෑය... සීතා අඬමින් කීවාය.

මොකෝ අක්ක සුපවයිසර් බැන්නද.. ඒහා සෙක්ෂන් එකේ සිටි කොල්ලෙක් යනින් ගමන සීතාගෙන් ඇසුවේය.

කවුරු බනින්ද බං... කෝ උඹේ නංගි... ආවේ නෑ.

නෑ. ගෙදර ගියා අම්ම ලෙඩ වෙලා..

හ්ම්.. හැම කෙනාම මොකක් හරි ප්‍රශ්නෙක... ඇය කාටත් ඇසෙන නොඇසෙන සේ  කීවාය.

Tuesday, October 12, 2021

ඇයද මව් නම් විය - 3 කොටස

 

නංගි උඹ ගාව 500 නැද්ද ගන්න. පඩි දවස දෙන්නං...

අනේ අක්කේ, දෙන්න තියා... බෝඩිමේ වයසක ජෝඩුවත් කන්න බලං ඉන්නේ මාව. ගිය මාසේ කුලියත් වැඩි කරා... රමණි අක්කාගෙන් අහල බැලුවොත්.

හ්ම්.. අහල බලන්න ඕන.

ඒක නෙම් කවුද අක්කත් එක්ක මේ ටිකේ කතා කරන්නේ ෆෝන් එකෙන්..

ක..වු.රු කතා කරන්නද බං..

හ්ම්..

සීත ඔයාව හම්බෙන්න කවුද ඇවිල්ල.. ටග්ගාල ගිහින් වරෙන්... සුපවයිසර් සෙක්ෂන් එකට ඇවිත් කීවේ දෙදෙනා දෙසම බලමින්ය.

වැඩටික අල්ලගත්ත නෙ.. කෝ බලන්න. මේක තව ටිකක් ඉඩ තියල කපන්න.

හරි සර්..

සර් කියන්න ඕන නෑ ළමයෝ..  ඇයි දවස් පඩියට එන්නෙ. ගාමන්ට් එකට ජොයින් වෙන්නකෝ...

නයිට් කරන්න බෑ.. පුතා තනියම දාල එන්න විදිහක් නෑනෙ.

එතකොට ඔයා බය නැද්ද තනියම ඉන්න..

බෝඩිමේ අයිතිකාරයොත් එතනම තමයි ඉන්නේ ස..ර්.

 

මොනවද කුටු කුටු ගෑවේ සුපවයිසරය.. දන්නවනෙ. බලාගෙන ඕක මහා එපා කරපු එකා.. වරෙන් කන්න යං.

නයිට් ඒකටත් ඉන්න බැරිද අහනවා... කවුද ආවේ.

අ..ආ... මේ අයියගේ නෑ දෑ කෙනෙක්. සල්ලි වගයක් ඉල්ලුව එක දෙන්න.

..අර ෆෝන් එකෙන් කතා කරන කෙනාද.

කවුරු කතා කරන්නද බං.. මාරයා ඇරෙන්න.. අනිද්දා පොඩි එකාගේ ඉස්කෝලෙන් රු 150 ගේන්න කියල සත්තුවත්තේ යන්න.

එච්චර..

අනේ මන්ද බං.. ටිකට් එක රු 80යි. කන්නයි, බස් එකටයි ඉතුරුවලු.. වෙලාවකට හිතෙනව ඉස්කෝලේ යවන්නැතුව ඉන්න.

 

එහෙම කියද්දීයි ඇයට මතක් වූයේ තම පුතුගේ මොන්ඩිසෝරි උත්සවයට රු 700ක් අවුරුද්දට පෙර ගෙන එන්න කියා කී බව. කාමර කුලී, ආහාර, බස් වියදම් වලට යන මුදල හැරුණු විට මාසයටම ඇයගෙ අතේ ඉතුරුවන්නේ රු 50 හෝ 60ක් පමණි. ඉතින් කොහොමින් නම් රුපියල් හත්අටසියයක් එක් උත්සවයකට සඳහා ගෙවන්නද? කොහොමින් හෝ ගෙව්වත් මාසයේ ඉදිරි දින ටික මොකක් කර ජීවත් වන්නද?..

 

ගෙවල් ගානේ ගිහින් සල්ලි හොයන්නද කියන්නේ... ඒක හොඳයි.

ආ දන්නවද... එහෙනම් ඉතින් මොනාද තව කතා.. මාත් දන්නව උඹේ හැටි.

අක්කේ.. හිමීට. කෑ ගහන්න එපා..

උඹ එන්නතුවම හිටපං.. අනේ යකෝ.. මං කැමතිදේ මං කරනව... ඔව් ඉතින්.

අයිය.ද..

ඌ තමයි. වෙන මොකාද... මගේ වැරදි කියනව මෙතන.. එහෙන් අර නාකි ජෝඩුව ගෙදර ගියාම කන්න හදනව. ඌ මෙහෙන් කන්න හදනව..

 

චායාරූ අන්තර්ජාලයෙනි

එදිනත් ඇය ගෙදර එන විට දරුවා රූපවාහිනිය නරඹමින්ම නින්දට ගොස්ය. පියෙක් නොමැති දරුවෙක් භාර ගැනීමට පෙර පාසල් කිහිපයක්ම අකමැති වූ නිසා ඇයට තම දරුවාව ඇතුළත් කිරීමට හැකි වූයේ නගරයට බොහෝ දුරින් පිහිටි පෙර පාසලකටය. එක් අතකට එය සහනයකි. මන්ද කුලී නිවස ආසන්නයේ ඇති පෙර පාසල් වලට වැඩි මුදලක් ගෙවන්නට සිදුවන නිසාවෙනි. නමුත් දැන් තමුන්හට අවුරුද්දට පෙර මෙම  පෙර පාසලට ගෙවීම සඳහා රු 700ක මුදලක් සොයා ගත යුතුවේ. කොහෙන් හෝ මුදල් වැයවන මාර්ගයක් විවෘත වූවත්, ලැබෙන එකඳු මාර්ගයක්වත් නැත. විවාහ වීමට පෙර දුටුව සුන්දර අනාගතය, උදෑසන අවදිවීමට පෙර දැකගත් සිහිනයක් මෙනි. දකින මොහොතේම බොඳවී යයි. ඇය සිහින මැව්වේ නගරයට වී සැපවත් ජීවිතයක් ගෙවන්නටම නොව. තම සැමියාත් සමග යහපත්, සතුට පිරි ජීවිතයක් ගෙවන්නටය. දැන් එය කෙසේවත් සිදු නොවන සිදුවීමකි. කුලී නිවසට පිවිසෙන මාර්ගයට ආසන්න වෙද්දීම හදිසියේම කඩාහැලෙන වැස්සෙන් නොතෙමී බේරුනේ කල්පනාවේ ගිලී මහමගේ පැමිණියත් ඉකමන් අඩි තිය තියා ආ නිසාය.

 

අ..ම්ම අඬනවද..

නෑ පුතේ.. මේ එද්දි වැස්ස..ට තෙ..මුනා

දැන්නෙ වැස්ස පටන් ගත්තෙ අ..ම්මේ...

Sunday, October 10, 2021

ඇයද මව් නම් විය - 2 කොටස

 

චායාරූ අන්තර්ජාලයෙනි

ඇය මාසයක් ඇතුළත මැහුම්, අයන් සෙක්ෂන්වල පවා අත්දැකීම් ඇතිව ගාමන්ට් එකේ සියලු වැඩ ඉගෙනගත්තාය. නමුත් ඉඳහිට බැනුමක් ඇසීමට අන් හැමදෙනාටම මෙන් ඇයටද සිදුවේ. ඒ ටාර්ගට් වැඩි දින වලය. අනෙක් දිනවල සාමාන්‍ය පරිදි කටයුතු සිදුවේ. කොල්ලන්ගේ විහිළු, සුපවයිසර්ගේ මනමාල කතා ඈට දැන් හොඳට හුරු පුරුදුය. සීතා සමග පමණක් වැඩි ඇයි හොඳයියක් තිබෙන ඈ කවුරුත් අතේ දුරින් ආශ්‍රය කරන්නේ පාසල් වියේ පටන් පුරුදුව තිබූ පුරුද්දක් නිසාවෙනි. නැතිනම් තම සැමියා මිය යෑමෙන් ඇති වූ දොම්නස තාමත් තම සිතේ හැලහොල්මන් කරනා නිසා වන්නටද පුළුවනි.

 

මේ උඹ ආයේ බඳින්න අහදසක් නැද්ද?

නෑ අක්කේ..

ඇයි බං. වයසත් තියෙනව.. තාම ඇහැට කනට පේන්න ඉන්න එකේ.

ආයේ බෑ.. අක්කේ

ආයේ කියන්නේ.. ඔය ඕන තරම් ඉන්නේ බං දෙවෙනි එකෙන් හරිගියා එවුන්. අනික උඹට තනියෙම ළමයව බලාගන්න පුලුවන්ද?.. රස්සාවකුත් කරකර.

බැරි උනත් පුළුවන් උනත්.. ඕව ගැන හිතක් නෑ, තනියෙම ළමයව කොහොමකරලා හරි හදාගන්නව. එච්චරයි..

උඹේ කැමැත්තක්.. මං කිව්වේ ඉතින් උඹේ හොඳට.

අ..ක්.කෙ. අයිය ආයේ එන්නේ කවද්ද..  කාලෙකින් ආවේ නෑ නෙ තාම?

කවුරු දන්නවද බං.. අන්තිම ලියුමක් ඇවිල්ලත් මාස 2 ගියා. මාස තුනකින් සල්ලි එව්වේ නෑ ගෙදට්ට.

නිවාඩු නැතුව ඇති.

අනේ මන්ද බං. ආරංචියක් තියෙනව කෑම්ප් එකේම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා කියල.. උඹ කාටවත් කියන්නේ එහෙම නෑ.

මං කා එක්ක කියනව කියලද?..

පුංචි එවුන්ගේ ඉස්කෝලෙන් ඉල්ලන ඒවාට දෙන්න සල්ලිත් නෑ. ලබන මාසේ මාලේත් සින්න වෙනව මෙහෙම ගියොත්..

නැන්ද..ම්.මා..

අපෝ.. කතා කරන්න එපා ඒ ජෝඩුව ගැන. උන්ගෙ ළමය එන්නෙ නැති ඒකටත් පලි මං. පඩි දවසටනම් ඉන්නව දත් සෙට් එකත් එළියේ දාගෙන ඉස්සරහට වෙලා. හරියට කන්න වගේ.

 

කරදර තිබෙන්නේ තමන්ට පමණක් නොවන බව මේ මාස කීපයට ඇය හොඳ හැටි ඉගෙනගෙන ඇත. සීත අක්ක, නන්ද, රමණි, අරුණි, සුපවයිසර්, කුලී ගෙදර වයසක යුවල පමණක් නොව ජීවත්වන හැමදෙනාම කුමන හෝ කරදරක, ප්‍රශ්නයක පැටලිලාය. හැම කෙනෙක්ටම තමතමන්ට අදාලවූ ප්‍රශ්න ඇත. එවාට මුහුණදෙමින් ඉදිරියට යෑම ජීවත් වීම කියා සිතිය හැකි බවත් ඉඳහිට සිනහවක්, සතුටක් දැනී නොදනී යාම ඒ ජීවිතයේම එක් අංගයක් බවත් ඇය තහවුරු කරගෙන හමාරය. ගඟක් මුහුද කරා විවිධ භාදක, අභියෝග පසුකරමින් යන්නා සේ මරණය දක්වා වැටී ඇති ජීවිත ගමන් මග දුක් කම්කටුලු විඳ දරා ගනිමින් යෑම උරුමයක් ලෙස සලකා ඇය දැන් ජල පහරක් ගලා යන්නා සේ ගලා යයි.

Friday, October 8, 2021

ඇයද මව් නම් විය - 1 කොටස

     ඇය පළමු පෙම්වතාම තම ස්වාමි පුරුෂයා කරගැනීමට තරම් වාසනාවත එකියක් වුවාය. නමුත් ජීවිතය එතරම්ම වාසනාව කැන්ඳන යමක් නොවන වග ඇය කල්යත්ම තේරුම් ගත්තේ එක පිට එක සිදුවන සිදුවීම්වල ඇති අමිහිරි හා කටුක ස්වභාවය නිසාමය. තම ස්වාමිපුරුෂයා හදිසි අනතුරකට මුහුණ පා මිය ගියේ විවාහ වී හරියටම වසර 3ක් ගිය තැනය. ඒ සිඟිති දරු පැටවෙකුට පිය උරුමයද අහිමි කරමිනි. අමාරුවෙන් අඟහිඟකම් මකා ගනිමින් ඇය හා පුතු කුලී නිවසක ජීවතය ගෙවන්නට වූයේ  මියගිය සැමියාගේ ජීවිත රක්ෂණයට පින් සිදුවන්නටය. ඒ අතර ඇය අර්ධ කාලීන රැකියාවක් සොයාගත්තේ නැවතත් ගමට යෑමට ඇති අකමැත්ත නිසාවෙනි.

****

 

මේ කීවෙනි බ්ලොක් එකද උඹ කපන්නේ.. තාම 2යි. පැයට 50ක් කපල යවන්න ඕන. ඉක්මනට අත හුරුකරගත්තේ නැත්තං වෙන සෙක්ෂන් එකට මාරුවෙයන් මාව කන්නේ නැතුව... ඒ කටින් සෙක්ෂන් එකේ වැඩ පරීක්ෂකය. ඔහු කෙනෙක් හට කුණුහරුපෙන් බැනීමට වුවද පැකිළෙන්නේ නැත. ඒ තම ටාර්ගට් කවර් කරගැනීමටය.

 

උඹේ පලවෙනි job එකද..? ඒ සීතාය.

ඔ..ව්.

කලින් මුකුත්ම කරල නැද්ද? ඔහේ ගෙදරටම වෙලා හිටිය...

නෑ. කලින් පොඩි ළමයින්ට පන්ති කරා ඉස්කෝලෙන් අවුට් උන කාලේ...

අත හොල්ලන්නැතුව කට හොල්ල්ලන බෑ... ඉක්මනට වැඩ ටික අල්ලගනින්... නැත්තං ඉතින් ඔයිට වඩා කුණුහරුප තමා අහන්න වෙන්නේ එහා පැත්තේ ඉන්න කොල්ලන්ට ඇහෙන්නත් එක්ක. උඹ තාම දන්නේ නෑ සුපවයිසරයගේ කට ගැන. ඒ වගේම තමයි ඕක හරි මනමාලය.

හ්ම්.. මං ඉක්මනට අල්ලගන්නම් අක්කෙ...

ආ.. නවත්ත ගනින් කතාව. සුපවයිසර් ගියා විතරයි කතාව පටන් ගත්ත මෙතන.. කටින් එකේ නායිකාව වන අරුණි කෑගැසුවාය.

මං මේ මේකිට වැඩටික ඉක්මනට අල්ලගන්න කිව්ව විතරයි බං..

උඹ අද නයිට්ද..

නෑ බං අද නැන්දම්මල යනව එයාලගේ පොඩි දුවලගේ ගෙදර..

ඒ උඹේ මිනිහ තාම නිවාඩුවට ගෙදර ආවේ නෑ නෙ..

අනෙ කවද එයිද මන්ද..

අන්න බෙල් එක ගැහුවා උඹට දැන් යන්න පුළුවන්. සීතා ඇයට කීවාය.

චායාරූ අන්තර්ජාලයෙනි


 

වරුවම රෙදි කපා හවස ගෙදර යන විට ඇයගේ අත් දෙකම රතුවී හටගත් කරගැටද පිපිරී තිබිණි. ඇය නැති අතර දරුවා බලාකියා ගැනීමට කුලී ගෙදර වයසක යුවල කැමති විය. ඒ ගෙවල් කුලියට අමතරව ලබාදෙන වැඩිපුර මුදලකටය. මුදල් ගනුදෙනුවක් වුවත් එක් අතකින් ඇයට එයද යම් සහනයකි. රක්ෂණයෙන් ලැබුණු මුදලද වියපැහැදම් වී දැන් ඇය සතුව ඇත්තේ එයිනුත් සුළු කොටසකි. එයත් වියදම් වූ පසු ඉතුරු කරගත් මුදලක් කියා දෙයක් නැත. ගමෙන් එද්දී ගෙනා මුදලක්ද අය සතුව නැත.

 

වැඩ අමාරුයිද කෙල්ලෙ.. කියමින් ඇය එන දිහාවට හැරෙමින් මහලු කාන්තාව ඇසුවාය.

නෑ ඇන්ටි එහෙමමත් නෑ. ටිකක් නිදිමතයි වගේ.

එහෙමද.. ඔතන ඉස්සර ගොඩක් කට්ටිය වැඩ කරා.. දැන් වැඩ අඩුයි මයෙ හිතේ.

වෙන්න ඇති. කෝ පුතා ඇන්ටි..

ආන්න.. මහත්තයත් එක්ක tv බලනව...

 

කුඩා දරුවන්ට රූපවාහිනිය බැලීම හොඳනැති වුවත් එය නැරඹීමට නොදෙන්න කියා මේ වයසක ජෝඩුවෙන් ඉල්ලන්නට ඇයට බැරිය. මක්නිසාද යත් වෙනින් දරුවෙක් තම දරුවෙක් සේ බලාකියා ගැනීමට කිසිම අයෙක් නොවෙහෙසෙන නිසාය. සාලයට යද්දී කුඩා දරුවා රූපවාහිනිය බලමින්ම සැටිය මත නිදි සුව විඳිමින් සිටිනවා දුටු ඇයට මහත් සංවේගයක් ඇතිවිනි. ඇය හෙමිහිට දරුවා වඩාගෙන සිඹිමින්  කාමරය වෙත පිය නැගීය.

 

අ..ම්..ම ආවද. ඒ වචන ඇයගෙ හදවත පුරා විහිදී යන විදුලි දහරාවක් මෙන් දැනී යද්දී ඇය තව තවත් තම පිය සෙනෙහේ අහිමි දරුවාව තුරුළු කරගත්තාය.

Sunday, October 3, 2021

ලොකු උනහම ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න බැරිද?

 

රූපය උපුටාගැනීම අන්තර්ජාලයෙනි

මේ සම්බන්ධව යාත්‍රිකයට මතක් වෙන එක සිදුවීමක් සේම තවත් අහපු කතාවක් මතක ගබඩාගතයි. අහපු කතාව සත්‍ය වේවා අසත්‍ය වේවා මේ ශීර්ෂයත් එක්ක පැහෙන නිසා ඒ කතා යුග්මයම මෙහෙම දක්වන්නම්.

1 කතාව - පාසලේ වැඩිහිටි ශ්‍රේණිවල ඉන්න සිසුන්ට සම්මන්ත්‍රණ වලට බොහෝ සෙයින් සහභාගී වෙන්න කටයුතු යෙදෙනවනෙ. එවන් අවස්තාවක වෙච්ච සිදුවීමක් තමා මේ. පොඩි පැරණි අතීතයක නිසා හරියටම මතකයක් නැහැ. කොහොම නමුත් මාත් ඔය කාලේ වැඩිහිටි පන්තියක තමයි උන්නෙ. ඉතින් අපි ඔන්න ඉන්නකොට අර ප්‍රශ්නය.. ලොකු උනාම වෙන්න කැමති කවුද? මිලියන දෙකේ නෙමේ, ජීවිතේම ගැටගැහිලා තියෙන ප්‍රශ්නෙ අපිට දැම්ම. අපිට වඩා උඩ පන්ති වල හිටපු උන් ඉතින් එක එක ඒව කියන්න ගත්ත. කොහොමත් මේක පටන්ගත්ත වෙලාවේ ඉඳන් පොඩි fun එකක තමා කට්ටිය හිටියේ. එක කොලුවෙක් ඉතින් තමුන්ගේ අසරණ මුණත් හංගගෙන සද්දෙට කිව්ව ‘ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න කියල. මේක කොහොමහරි ඇහුන වගේම කිව්ව ඒ කෙනාවත් දේශක උතුමගෙ අතටම මාට්ටු. අන්තිමට උනේ අපිට fun බෙදන්න ගිහින් මේ අසරණය ජෝකරයට වැටීම. දේශක තුමා ඉතින් අහනව දැන් ‘ඇයි එහෙම වෙන්න හිතුනෙ, ඩ්‍රයිවර් කෙනෙක් වෙලා ජීවිතේ සාර්ථක කර ගන්න බෑනෙ.. ඉගෙන ගන්නෙ ඕකටද’ වගේ දේවල්. අසරණ අපේ දරුවා ඉතින් වරද තේරුම් අරං දේශක තුමාට බැරෑරුම් මූණක් දිගුකරමින් තමුන් අනාගත සිහිනය වෙනස් කර ගත්ත බවක් රඟ දැක්වුව.

2 - දවසක් පහළ පන්ති භාර ගුරුවරියක් ළමයින්ගෙන් අහල තිබ්බ ඔයාල ලොකු උනාම වෙන්න කැමති කවුද කියල. එක ළමයෙක්ගෙ පිළිතුර වෙලා තිබ්බෙ ‘මං කැමති ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න’. එතකොට ගුරුවරිය ටිකක් කේන්තියෙන් ළමයාගෙන් අහනවා ‘අනිත් අය ඩොක්ටර්ස්ල, ඉංජිනේරුවෝ වෙන්න හදද්දී ඔයාට නිකම්ම ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නද ඕන’ කියල. ‘නෑ ටීච මට ඕන උඩ යන ප්ලේන් වල ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න’ කියල ළමය නැවත පිළිතුර වැඩි විස්තර කරල. එතකොට ගුරුතුමිය ඇතිවෙච්ච කෙන්තිමත් මූණ කාන්තිමත් කරගෙන ‘ආ ඒ අයට කියන්නෙ පයිලට් කියල ළමයට තේරුම් කරලා දීල. පුතාගෙන් ආපහු කවුරුහරි ඇහුවොත් ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියල කියන්න ඕන කොහොමද.. පයිලට් කෙනෙක් කියල හොඳද’.

වැඩිහිටියෝ ළමයින්ගෙන් නිතර අහන දෙයක් තමයි ලොකු උනාම තෝරගන්න රැකියාව මොකද්ද? ලොකු උනාම කවුරු වෙන්නද කැමති? (එක ළමයෙක් තාත්ත වගේ වෙන්න කියන එක නොතේරුම් කමට කියල තියෙන්නෙ තාත්ත කෙනෙක් වෙන්න කැමති කියල). ඒක නිකං ජීවත් වෙන්න හුස්ම ගැනීමටත් වඩා අවශ්‍ය කාරණයක් වගේ. පොඩිම ළමයි ඉතින් හිතෙන හිතෙන එක දොඩවනවා. සමහරු අද කියන එක නෙමේ හෙට කියන්නේ. ඒ තරමට ඒ අයගෙ අදහස් වෙනස් වෙනවා. දායාද ලැබෙනවා වගේ සමහරුන්ට නම් ඒවත් දෙමව්පියන්ගෙන් ලැබෙනවා. ඊට පස්සේ ඉතින් ඒ දරුවන්ට වෙන්නේ අනිත් අයගෙ හීන තමන්ගේ කරගෙන බැලීමක් තමයි. ඒව ගැන ඉතින් ලියන්න ගියොත් වරුවක් විතර යනවා. ඒත් යාත්‍රිකයගෙ හිත කියන සෑම්පලේට නම් හීන කාගේ උනත්, මොකක් උනත් වැඩිය දකින එක නරකයි කියල. සමහරු ඒව හැබෑ කරගන්න ගිහින් ජීවත් වෙන්නෙත් හරියට හීනෙන් ඇවිදින උන්දැල වගේ. පියවි ලෝකේ, මහ පොළොවේ යතාර්ථය මත නෙමේ.

කොහොම වෙතත් කියන්න ගත්තේ, ඇයි ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක අපුලයිද?. අපිම වෘත්තීයන් උස් පහත් ලෙස බෙදා ගෙන උසස් යැයි සම්මත කොරගත් තැනට යන්න අර ඇදීමක් නෙමෙයිද මේ අපි වසන සමාජය. දරුවනුත් ඒ බෙදීමට හුරු කරන ගමන් උස් වෘත්තීය තලයක සිහින අපි ඔවුන්ට එන්නත් කරනවා. රියදුරෙකුට වඩා වෛද්‍යවරයෙකු කරන කාර්යය උසස්. ඒ තුළ කිසි ගැටීමක් යාත්‍රිකය තුල නෑ. ඒත් එහෙමෙයි කියා රියදුරු වෘත්තිය පහත් වනවාද?. පහත් කිරීම යුක්තියුක්තද?. අනෙක් අතට වෛද්‍යවරයෙකුට තම සේවා ස්ථානය වන රෝහලට යන්න රියදුරු සහයක් උවමනායි. නැතිනම් ඔහුට වෙන්නෙ රියදුරු අසුන භාර ගන්න. එවිට ඒ මොහොතෙ වෛද්‍ය වෘත්තිය තුළ ඇති උසස් බව අඩු වෙනවද?. බාල්දු වෙනවද? නැතිනම් රියදුරු වෘත්තීය උසස් වනවාද?..

හැම පුද්ගලයෙකුටම ඉහළ අධ්‍යාපනයකට යන්න පුළුවන් නම් එය ඉතා හොඳ තත්වයක්. ඒ වගේම බොහෝ කලක ඉඳන් රියදුරෝ ලබා ගන්න වැටුමෙ ලොකු අඩුක් අනිත් වෘත්තිකයන්ට සාපේක්ෂව යාත්‍රිකය දකින්නෙ නැහැ. ඒක මෙහෙ වගේම පිටරටවලත් එහෙමයි. සමහර රියදුරන් නවක වෛද්‍යවරයෙක්ට වඩා, ඉන්ජිනේරුවෙකුට වඩා වැඩියෙන් උපයනවා.

එතකොට ඒ වෘත්තීනුත්, රියදුරු වෘත්තියත් අතර තියෙන්නේ යම් අධ්‍යාපන, දැන උගත්කම්වල හා ජීවන් විලාසයේ වෙනසක් විතරයි. ගුණධර්ම, සාරධර්ම, සමාජයට වගකියන බව, නීතිය තුල හරිසිරීම වගේ දේවල් හැරුණු කොට. ඉතින් මේ ආදී කරුණු තුලින් ගුණ අගුණ නොබලන ලෝකය වෘත්තීය විතරක් සලකමින් පුද්ගලයෙක් මැනීම හෝ උස් පහත් කිරීම මොනතරම් අසාධාරණ හා යුක්තද. මේ හේතුවෙනුයි යාත්‍රිකයා දකින්නෙ අනාගත සමාජය බවට පත්වන වත්මන් දරුවන්ට මේ කාරණා තේරුම් බේරුම් කිරීම තුලිනුයි සම්මත කරගත් උස් පහත් ඛේදය අහෝසි කර සහ පුද්ගල වැදගත් භාවය වෘත්තීන්ට ලගු කොට දැක්වීම නවත්තන්නට පුළුවන් වන්නේ.