Sunday, July 19, 2020

ඇඳුම, නිදහස හා සදාචාරය

ඒයි උඹ අද ඕකද අඳින්නෙ...

ඔව්. ඇයි.. අවුළ මොකද්ද මේ dress එකේ?

ඕක කොට වැඩි නැද්ද බං.. මොක උනත් පා..රේ...

අනේ මේ.. fashion කරන්නේ නාකි උනාමද? මේක දැන් latestම එක.. සමාජෙට ඕන විදිහට නටන්නෙ මොකටද බං..

යකෝ මං කියන්නේ පොඩ්ඩක් සංව..ර එකක්.

බං... සංවරකම ඇඳුමෙන් මනින පුලුවන්ද?... උඹනං තාම ගොඩේ..

නෑ බං මං කියන්නේ.. මොක උනත් කෙල්ලෙක් උනාම.....

මොන මගුලක්ද බං.. තමන් කැමති ඇඳුමක් අඳින්න මිනිහෙක්ට නිදහසක් තියෙන්න ඕන. මොකද මං හෙළුවෙන් යනවද.. නෑ නෙ. අනික මෙහෙම අඳින්න එපා කියල නීතියක් තියෙනවද? නීති විරෝධි ද.. මොකද්ද බං උඹ ඔය කියන සදාචාරේ, සංවරකම... තමන් කැමැති ඇඳුමක් අඳින්න නැති. මං එහෙම නෙමේනං නොබලා හිටියම වැඩේ ඉවරයිනෙ.

 

ඇය හරි. කැමති ඇඳුමක් අඳින්න ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස තියෙන්න ඕන. සදාචාරය, සංවරකම කියල එක එක නීති දාන එක හරි මදි. මොකද ඇඳුමක් නිසා හිරේ දාන්න තාම නීති පොතෙත් නීති නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක එක ලක්ෂණයක් ඒක.....

අපි ඔය කියන නිදහස, අයිතිය කියන දේවල් වලට සීමාවක් නැද්ද?... ඔබ අත ඇති සැරෑටිය අනෙකාගේ නාසය ගාවින් කෙළවර විය යුතුයි කියල කිව්වේ ජෝර්ජ් වොෂින්ටන්. මොහොතක් කලාත්මක ගීත සැඳෑවකට සම්බන්ධවුනු වෙලාවක් ගැන සිතට නගාගන්න. කිඹුහුමක් යන්න ආවොත්.. එනව.. හොචෝස් ගාලා පිට කරනවද? නෑ... මොකද අපි එතනට ඔබින විදිහට ඉන්න ඕන, අනිත් අයගෙ රසාස්වාදයට බාධා කරන්න හොඳ නෑ වගේ දේවල් ජීවන අත්දැකීම් (සමාජ පරිචය) විදිහට හෝ කවුරුගේ කියාදීමක් විදිහට යන අයුරකින් අපි මේවා දැනගෙන තියෙනව. ඒ වගේ තැනක ඒ විදිහට චාරය වෙනස් කරගෙන පිරිස සිටීම ඒ පිරිසගේ සදාචාරය කියල අපිට සරලව අරුත්ගන්වන්න පුළුවන්. එහෙම අපි ඉඳීම අපේ සංවරකම.

එක බීමත් මනුස්සයෙක් හින්ද පිටරට තැබෑරුමක පොඩි කලබලයක් උනා. ඔහු බීගෙන කියනව “මං බොන්නේ මගෙ සල්ලි වලින්.. කියවන්නේ මගේ කටින් ඉතින් අනිත් අයට ඇති ගැටළුව මොකද්ද කියල”. මෙහෙම ඉන්නකොට එක වයසක පුද්ගලයෙක් ඔහුගෙ මෙසේ ලඟට ඇවිත් කිව්ව “ඒ උනාට ඒව අහන්නෙ, දකින්නේ අපේ ඇස්, කං වලින්” කියල. ඒත් එක්කම ගල්ගැහිලා බලං උන්නු කලබලකාරය මොහොතකින් සන්සුන් උනා. මොකද අපි අපේ කැමැත්තට සියල්ල කරන්න පුළුවන් කාටවත් කරදරයක් කරන්නේ නෑනෙ මං කියල හිතුවට ඒක එහෙමම නෑ. අපි අවට ඉන්න තැන, ඉන්න පිරිස ගැන පමණක් නෙමේ සමහර වෙලාවට අතීතය ගැන පවා හිතල, දැනගෙන කටයුතු කරන්න වෙනව. දවසක් කොලු ගැටව් ටිකක් කනත්තේ සෙල්ලං කරකර ඉන්නකොට එතනින් යන පුජකයෙක් රැලේ නායකයා වගේ පෙනුන කොලුවට කියනව “ළමයිනෙ දන්නවද ඔතන කෙනෙක් වලලපු තැනක්.. ඒ මගේ පියා”. “ඉතින් එයා දැන් මැරිලානේ” කියල හිනාඋනු නායක කොලුව ආපහු සෙල්ලමට වැටුන. “දන්නවද උඹේ පියා පොරොන්දු වෙලා තියෙනව මගේ මගේ පියා ලෙඩ ඇඳේ ඉද්දි මාත් මිහිදන්වෙන්නේ ඔයා ළඟමයි කියල” ආපහු පුජකයා කියල හිනා උනා. මේක කිව්ව දවසේ ඉඳල වෙන ළමයි කෙසේ වෙතත් එදා ඉඳල අර නායක කොලුවා එතන සෙල්ලං කරනවා දැකල නෑ ගමේ කවුරුවත්. ඉතින් තැන නොතැන නොබල, හිතේ හැටියට ඉන්න ගිහින් විඳවපු ඔය වගේ අයත් ඉන්නව. එක එක විකාර, අඩ නිරුවත් දසුන් නිදහසේ තමුන්ගේ යහළුවන් සමග බෙදාගෙන අසරණ උන සමහර ගෑණු ළමයි ගැන කතාත් මේ සමාජයේ නැතුව නෙමේ. ගොඩක් අය රෙද්ද කොට උනාම ඒක අසංවරද කියල අහන එකට යම් උත්තරයක් තියෙනව එතන.

අනික එක තමයි සමහරු දිග රෙද්ද එතකොට සංවරද?.. “සදාචාරයක් සමාජේ තියෙනවනම් කොට නෙම් බිකිනිය උනත් ගහන් යන්න පුලුවන්” කියන තර්කයක් ගේනව. රෙද්දෙ දිගත් එක්ක සංවරකම වැඩි, අඩු වෙන්නෙ නෑ වගේමයි ඉතින් ටිකක් වැහෙන්න (අඩනිරුවත් නොවී) ඇන්ඳ කියල නිදහසේ අඩු වැඩි වීමකුත් නෑ. හැබැයි ආරක්ෂාවට නම් ටිකක් හොඳයි. ඉතින් ඔහොම තර්ක ගෙනාවට වඩා හොඳයි ඇඳුම් නැතුව යන්න පුළුවන් නේද කියල අහන එක. මොකද සමාජ විද්‍යාඥයෝ කියන විදිහට ඇඳුම ආවේ ආරක්ෂාව, විලිබිය සහ පිරිමියන්ගෙන් කාන්තාවට එන ලිංගික හිරිහැර දුරු කිරීමට වගේ දේවල් මුල් කරගෙන. (වර්තමානයේ කාන්තාව අඩු හා පිරිමි වැඩි වසා ගැනීමක් එක්ක ඒක අනික්පැත්ත පෙරලිලද මංද?) කාලයක පටන් නවීන වෙළඳ රටාවේ අඩ නිරුවත් කාන්තා රුව ජනප්‍රිය අංගයක් වෙද්දි ඒක ඉතින් සාමාන්‍ය සමාජේ දෝතින් වැළඳ ගන්නව. ඒක සාමාන්‍යයි. ඒත් කිසි දැනීමකින්, දැක්මකින් අනුගමනය නෙමේ අනුකරණය කරන තරුණ පරපුර එන එන marketing item වල ඇලුනොත් නම් සමාජ නිදහස කෙසේ වෙතත් තමන්ගේ මනසෙ අසහනයයි, හිස් බැංකු පොතයි එක්ක තමයි අනාගතයට යන්නේ වෙන්නෙ. fashion, make-up කරන්න ගිහින් මාස් පඩිය කඩවලට දීල රෑට පාන් කන බෝඩින් කාන්තා චරිතත් මේ සමාජයේ සිටින බව ගොඩක් අය දන්නේ නැති කාරණයක්. ඒ නිසා මොනවකරත් දෙයක් කරන්න කලින් හිතල, බලල දැන කරන එක තමා නුවනට හුරු. නැත්තං නිදහස කියල වෙන්නේ marketing ඇමක් ගිලල cardboard චරිතයක් වෙන්න.