Saturday, October 16, 2021

ඇයද මව් නම් විය - 5 කොටස

 

සෙනසුරාද සහ ඉරිදා දිනවල ඇය වැඩට නොයා දරුවා බලාගැනීම සඳහා කුලී නිවසෙ රැඳේ. මෙවන් සමහරෙක් දිනවල දවල්ට කඩයකින් කා දරුවා සෙල්ලං කරන්නටද රැගෙන යෑමට ඇය පුරුදුවී සිටියාය. සෑම සති අන්තයකම එය කරන්නට නොහැක්කේ වියදම වැඩි නිසාවෙනි. කුලී නිවසෙ රැඳී සිටිද්දී වයසක ජෝඩුවගේ කතාවෙන් බේරීමට ඇයට බැරිවේ. ඔවුන් දෙදෙනාගේ දරුවන්ද ලොකුමහත් වී පිටරට රැකියාවල නිරතව සිටිනා අතර අවුරුද්ද අවසානයේ ලැබෙන නිවාඩුවට පමණක් පැමිණේ. ඒත් වැඩි හරියක්ම ලංකාවේ තිබෙන දේපළවල තත්වය බැලීමට වාගේ යැයි ඇයට නිතර සිතෙයි. සල්ලි එවන්නේද වැඩිමහල් දියණිය පමණි. එයත් මාස තුන හතරකට වරකි. නොලැබෙන වාරද බොහෝය. ඉරිදා දිනවල උදේ වරුවේ දුරකථනය අසල රැඳෙන මහලු කත දහවලට එයින් ඈත්ව රූපවාහිනිය කර යන්නේ "දෙන්නම වැඩ වෙන්න ඇති.. කොහෙද ඉතින් ලොකු තානාන්තර ඉහිලුවම කන්න බොන්නවත් වෙලාවක් තියෙන එකක් ඈ.." කියා සිත සාදා ගනිමිනි.

 

ඈ ළමයෝ, දැන් ඔය ළමයගේ වයස කීයක් වෙනවද..

තාම 21යි..

හ්ම්.. ආයේ බඳින්නේ නෑ?..

න්..නෑ ඇන්ටි..

හ්..ම්. ලමයව ඉතින් ඔහොම තනියෙම බලාගන්න පුලුවන්ද හැමදාම.. අනික රස්සාවක් කරකර..

පුතා ඉස්කෝලේ යන්න ගත්තහම ඩේ-කෙයා එකකට දාල වැඩට යන්න හිතන් ඉන්නේ..

ඔව් ඉතින් එහෙමත් පුළුවන්.. මෙහෙ ඉතින් දිගටම ඉන්නත් බැරියැ. මොකෝ ඉඩ නැති එකක් ඈ..

හ්ම්...

ඔය ළමය මේ මාසේ කුලිය දුන්නද ළමයෝ..

ඔව් ඇන්ටි.. දුන්න.

කොහි.. මතකයක් තියෙන එකක් ඈ..

හ්.ම්..

ගිය සැරේ ක්‍රිස්මස් එකට ලොකු පුතා ගෙනත් දුන්න tv එක නිසා හොඳයි. නැත්තං ඉතින් මොනා කරනද.. දවසම බුදියගන්න කියල ද. හොඳම වර්ගයේ එකක්.. ඒත් මං ගේන්න එපා කියලත් කිව්ව. කෝ ඇහුවද. දුවනම් ඉතින් හැම සැරේම චොකලට් පෙට්ටියක් එවනව.. ගිය සැරේ එවපුව වටේට බෙදල ඉතුරුත් උනා. චූටි පුතා තමා අර කෝපි මැෂිම ගෙනත් දුන්නෙ. නිකාන් සල්ලි වියදං කරනවනෙ.. මේ සැරෙත් මොන මොනා උස්සගෙන එයිද මන්ද..

මේ මහලු කාන්තාව තමාටත් වඩා අසරණ බව විටෙක ඇයට සිතෙයි. දරුවන් ගෙනත් දුන් දේවල් බල බලා සතුටුවන අතර බලා කියා ගන්න ඒ අය ළඟ නැති නිසා ඇතිවන සාංකාවට කා හටවත් දොස් නොකියයි. නිතරම ඒ අය ගැන සිතමින්ම තවතවත් දුකට පත්වෙමින් ඒ අය එනතුරු මග බලා හිඳී.

ගෙවල් පැත්තේ එහෙම ගිහින් එන්න හිතක් නැද්ද තාම ළමයෝ..

යන්.න..ත් ඕන.

මොනා උනත් ඉතින් බලං ඇති එනකං... කියමින් මහලු කාන්තාව තම සිතේ තිබූ සිතිවිලිද කියා දැම්මා වන්නට පුළුවනි.

 

ඇය ගෙදරින් කතාකළ මනමාලයාට අකමැතිව තම පෙම්වතා සමග ගෙදරටත් නොකියාම ආවේ වෙනින් කරන්නට දෙයක් නොමැතිම තැනය. දැන් කබලෙන් ලිපට වැටුණා සේ, පත්ව ඇති තත්වයට දෙමාපියන් වග නොකිවයුතු අතර ඔවුන් බැලීමට කවදා හෝ යා යුතු බව ඇයගේ සිත නිතරම කියයි. තමන්ට සිදුව තිබෙන අකරතැබ්බය ගෙදරට ආරංචිව ඇති බව ඇය දැනී. ගිය දිනයක එයට අසන්නට වන නොහොඳ නෝක්කාඩු කතා ද බොහෝ වන්නට පුළුවනි. අම්මත්, තාත්තත්, අක්කත් සමග ගෙව් ගමේ ජීවිතය මෙයට වඩා දුක් කම්කටොලු වැඩිද අඩුද කියා කිරා මැනා බැලීමට ඇයට නොහැකිය. දෙකෙහිම එක සමානව දුක තැවරී ඇත. එහෙත් ගමේ තිබූ හිතේ නිදහස මේ ගෙවනා කොළඹ අව්වේ කිසි දිනෙක ඇය අත්විඳ නැතිවාය. කුමක් හෝ කා හෝ නොකා හෝ හිතේ නිදහසින් වැටී සිටීමට ගොම ගෑ පොළොව ඇත. හිසට ඉහළින් පොල්අතු සෙවිලිකළ වහල ඇත. දැන් කුලියට, පරාල යෙදූ ෂීට් වහල ඇත. කුලිය ගෙවීමට නොහැකි දවසක හිස් අහසේ පිහිට පමණි.

 

අම්...මෙ. බඩ..ගි.නි.

යං පුතා අම්මත් එක්කම කමු..

දවල්ටත් සම්බෝලයි, පරිප්පුයිද...

යං පුතා tv එක බල බල කන්න හොඳේ..

දවල්ට කාටුන් නෑ..නෙ

හරි දැන් යන් එකක් බල බල කමු...

මට ඇති..

8 comments:

  1. හොඳයි. මේකෙ, ලංකාවට ආගන්තුක, සමාජය වපර ඇසින් බලන "සිංගල් පේරන්ට්" සංකල්පය සහ වැඩිහිටි පරපුරේ ඛේදවාචකය සාකච්චා වෙනවා. අපූරු අදහසක්. ඔහොම යං.🙏🤔😊

    ReplyDelete
    Replies
    1. තුති ටොමි.. "වැඩිහිටි පරපුරේ ඛේදවාචකය" කියනවට වඩා මේක දැන් වත්මන් එක් සමාජය ඛේදවාචකයක්

      Delete
  2. ++++++++++++++++
    හොඳයි. ඔහොම යං.:)

    ReplyDelete
  3. හොඳ කතාවක් ගොඩ නැගෙනවා.

    ReplyDelete