Monday, October 18, 2021

ඇයද මව් නම් විය - 7 කොටස

 

මේ ඔයා අර කලින් කිව්වේ යාලුවෙලා හිටිය ගෑණු ළමයෙක් ගැන..

ඔව්... ඉතින් මොකටද ඕව දැන් හාරන්නේ. ආයේම

ඒක ගෙදර අයත් දන්නවද..

ඔව්.. ඔව්

ඒ කෙල්ලගේ තාත්තගේ නම සයිමන්ද..

මං දන්නේ නෑ.. දැන් ඇයි අහන්නෙ.

හරි.. හරි. මේ අපි ගමේ ඉඩමක් අරගෙන ගෙයක් හදමුද..

මොන පිස්සුද.. කොළඹ ඉන්න කෙනෙක් ගමේ යයිද.. ගමේ අයත් එන්න දඟලනවා කොළඹ.. මෙයා මේ පිස්සු කතා කරනවා..

මොකක්ද අනේ මෙහෙ තියෙන හොඳේ...

හරි ඉන්න..කෝ අපේම තැනකට යනකං. මෙහෙ පහසුකං ගමේ නෑනෙ අනේ..

මෙහෙ තියෙනව හැමදේම.. සල්ලි තියෙනකං. ඈ සද්දෙට කීවාය.

ඔයාට කේන්ති ගිහින්ද මණික.. අනේ ඉතින් ගමේ යන්න මට බෑ සුදු.. මෙහෙ ඉමුකො..

 

ඇය ඔහුට කැමැත්ත දුන්නේ මේ අහිංසක කම නිසාය. ඇරත් ඔහු මෙන් ඇයද අහිංසක යුවතියකි. ගමේ පන්සලේ දාන සාලාව හදන්න ආ අය අතරට ඔහුගේ පැමිණීමත් සමග හාදකම ඇතිවීමට මුලපිරිනි. ඒ ඇය හැම පොහොයකටම, ඉරිදාවකටම, බණකට, පිරිතකටම රංගිගේ නංගිත් සමග පන්සලට යන නිසාවෙනි. කිසිම පිරිමියෙකු සමග කතා නොකරන ඇය ඔහු සමග කතා කරන්නට පටන් ගත්තේද මේ ඔහුගේ අහිංසක කම නිසාවෙනි.

 

*********

නංගි මේ ළඟ වෙළුම් පටියක් ගන්න තැනක් නැද්ද.. ඒ ඔහුගෙන් ඇයවෙත ආ  මුල්ම ඇමතීමය. නමුත් එය ගණන් නොගෙන සිටින විටදී කතාවට ඉදිරිපත් වූයේ රංගිගේ නංගිය.

නෑ අයියෙ.. හන්දියේ කඩේ විතරයි තියෙන්නේ..

ලඟම පාර මේ මහපාර විතරද..

නෑ අර වැව් බැම්මෙන් පහලට ගියහම දකුණට කඩේ ලඟයි.. එලෙස ඇය හඬ අවදි කළේ ඔහු කුමක් හෝ අකරතැබ්බයකට පත්ව ඇතිබව පෙනුණු නිසාත් නංගි පාරවල් නොදන්නා නිසාත්ය.

මොකටද වෙළුම් පටි...

අර පහළ කන්ඩියට පය තියන කොටම බෝතල් කට්ටකට ගියා කකුල..

ආනේ හුඟක් ලේ යනවා... රංගිගේ නංගි කෑ ගසා කීවාය.

ඔහොම ඉන්න.. නංගි ගිහින් අර පන්සලේ ඉන්න බණ්ඩා මාමට එන්න කියන්න.

කමක් නෑ.. මේ ටික මං යන්න

කෝ ඔයත් එක්ක වැඩට ආපු අනිත් කට්..ටිය..

එයා..ල මේ මේ ළඟ කසි..ප්.පු.. පෙරන තැනක් තියෙනව කියල ගියා

පන්සලේ වැඩට ඇවිත් බීල හරියනවද..

 

ඒ ඔවුන් දෙදෙනාගේ ප්‍රථම හමුවීමය. එයත් හුදු අහම්බයකි. ජීවිතයම අහම්බයක්ද නැතිනම් දෛවය කියා දෙයකින් මිනිසුන් හසුරුවනවාද යන්න හැම මොහොතකම ඇයව නිරුත්තර කළ ප්‍රශ්නයකි. ජීවිතයද උත්තර නැති ප්‍රශ්න වැලකි. එසේනම් දෛවය කියා කලින් සැලසුම් වූ හෝ සැලසුම් කළ දෙයක් ලෙස තිබිය නොහැකිය. සමහරෙක් විට දෛවයද අහම්බයක් වන්නට පුළුවනි. නැතිනම් අහම්බය දෛවය වන්නටද පුළුවනි. මේ කුමක් හෝ තමා, මියගිය සැමියා, තම දරුවාද, රංගි, සීතා, තම දෙමව්පියෝ ඇතුළු සැම එහි හිරවී සිටිනා ඉත්තන් මෙන් දිස්වන බව ඇය තේරුම් ගත්තාය.

 

නංගි ඔයාල හැමදාම වගේ එනවද...

නෑ ඉරිදාටයි, පෝයටයි නම් එනව.. අනිත් දවස්වල අක්කට හිතුනොත් තමා.. රංගිගේ නැගෙණිය පිළිතුරු දුන්නාය.

එදා කරපු උදව්වට ගොඩක් ස්තූ..තියි..

දැන් කකුල හොඳයිද..

ඔව්.. ඔ..ව්. නංගිලා මේ ලඟද

ඔව් අයියේ පහළ කුඹුරෙන් එහා.. නැවතත් රංගිගේ නැගෙණිය පිළිතුරු බැන්දාය.

මේ නංගිගේ නම මොක..ක්..ද

මේ නංගි යං හවස පුජාවත් පහු..වෙයි.. කියා ඇය නැගෙණියවත් අල්ලාගෙන යන්නට පටන්ගත්තාය.

ආ.. පරිස්සමින් යන්න නංගි බුදුසරණයි..

බුදුසර..ණ..යි අයියේ. යනවා.. කියා රංගිගේ නැගෙණිය යනින් ගමනින් කෑ ගසා කීවාය.

කෑ ගහන්නැතුව එන්..න නංගි


ගමේ පන්සල

චායාරූ අන්තර්ජාලයෙනි


6 comments:

  1. හ්ම් අතීත කතාව. එතකොට ළමය අලුත් කෙනාගේ නෙමේ

    ReplyDelete
    Replies
    1. එකම කෙනාගේ ළමය. පෙර පසු සිදුවීම් නිසා පැටලෙන්නෙ ඇත්තෙ

      Delete
  2. http://myhobotales.blogspot.com/

    ReplyDelete
  3. //ජීවිතයම අහම්බයක්ද නැතිනම් දෛවය කියා දෙයකින් මිනිසුන් හසුරුවනවාද යන්න හැම මොහොතකම ඇයව නිරුත්තර කළ ප්‍රශ්නයකි.//

    ලස්සන කතාව අස්සේ හිත ගිය කතාවක්.

    ReplyDelete