Thursday, November 25, 2021

කුමරියක පා සළඹ සැලුණා......

 

පිරිමියකුගේ දෙනෙතට දිව ඔසුවක් තමයි කාන්තිමත් කාන්තා රූසපුවක් නිමිති වීම. නිමිති වීම කීවේ හදි ගැහීම, ඇහැට හසු වීම. යාත්‍රිකයටත් ඉතින් ඒ කාරණය එහෙමම තමයි. ඒත් බවුන් වඩන, තපස් ජීවිතයකට කැප වූ ලෞකික ජීවිතයෙන් ඈත්ව වසන්නෙකුට කාන්තා රුවක් දර්ශනය වීම, දැකීම ඔහුගේ දිවි පෙවෙතට අවැඩක්. අපුලක්. ඒකයි බමුණෝ තමන්ගේ ගෝලයන්ට ශ්ලෝක වලින්ම කියල දුන්නෙ ගෑනු දැකීම විනාසයට කාරණයක් කියල, බමුණු ජීවිතයට.. (සමහරු මේක තේරම් ගන්න බැරුව හත්පොලේ ගාගෙන, කිපෙනවත් දැකල තියෙනවා යාත්‍රිකය නම්).  බුදුහාමුදුරුවෝ පවා භික්ෂුවකට අතේ දුරින් කාන්තාවක්, සිහියෙන් ඇසුරු කරන්න කියල කිව්වෙ ඒ නිසයි. මොකද රාග ගින්න ඇවිළුනොත් නිවනවා බොරු, සාගර ජලය ඉහලවත්...

ඒත් ඉතින් කවුරු කිව්වත් තපස් ජීවිත නොගෙවන අපි විරුද්ධ ලිංගිකය වෙත ඇදිල යන්නෙ පහන් දැල්ලට ඇදෙන මෙරුවො වගේ.. ගිහින් ජීවිතයම වනසගත්ත, නහගත්ත අයත් ඕන තරම්. ඒත් මේ විඳින, විඳවන රාගිතවූ ජීවිතයෙන් අඩු-වැඩි වශයෙන් වෙන් වෙච්ච කෙනෙකුට.. පිරිමියෙකුට කාම දාහය දැනෙන්න ගැනීම, පටන් ගැනීම කොහොම වෙයිද. ඔහුගේ සංසිඳුණු මනෝභාව සුංනද්දූලි වෙන, රළ බිඳෙන නිමේෂයේ සිතේ ස්වභාවය, සිතුවිලි වළ හැඩය කොහොම වෙන්න ඇතිද.. ඒ ගැන කතාකරපු ගීයක් තමයි ‘කුමරියක පා සළඹ සැලුණා’ ගීතය..

 


මේ මොහොතත් ඉතා විචිත්‍රවත් ලෙස කලාකරුවෙකුට, ගී තනු අමුණන්නෙකුට, චිත්‍රපට තනන්නෙකුට යොදා ගෙන අපූරු නිර්මාණ කරන්න පුළුවන් හොඳ නිමිත්තක්. ඒත් සත්‍යය දකින්න උත්සුක වන යාත්‍රිකයෙකුට එය ඇත්තටම බමුණෝ කියපු විදිහට විනාශයට කාරණයක්.......

 

තපස් දිවියක් ගෙවන, බවුන් වඩන පිරිමියෙක් එහෙම නැත්නම් කාමයෙන් වෙන්ව වාසය කරන්නෙක් හට හදිසියේ ඒ ගෙවන ජීවිතය තුළින් වෙනතකට ගන්නට, කාම සිතුවිලි අවුළුවා ලන්නට හැකි ස්ත්‍රී ලාලිතයන් දැකීමකින්, ඇසට හසුවීමකින්... සුළු දර්ශන මාත්‍රයකින්, නෙඟින් යොමන එක් බැල්මකින්, පුන් පියයුරු වල ඡායා මාත්‍රයකින් හෝ දිගැටි මනාව පිහිටි පා  යුග්මයකින් එය සිදුවිය හැකියි. එය මනාව පද වැලට එකතු කරමින් ගීතය ආරම්භ වේ. ඒ කුමරියකගේ පා සළඹ සෙලවීමකිනි. සළඹ සෙලවෙන්නේ නිකන් තරුණියකගෙන් හෝ ස්ත්‍රියකගෙන් නොවේ. කුමරියකගෙනි. කුමරියක් කී පමණින් අපට අදහස් වන්නේ සුකොමාල, කාන්තා ලාලිත්‍යයන් මනාව කැටිවුණු, ලතාවකට පැද්දෙන ඉඟසුඟ, හෙලන බැලුම්, ඔමරි පෑම් හෙළන ළඳක්ය. රූ සිරිය අනවශ්‍ය ලෙස තෝරා දෙන්නට පද නාස්ති නොකර සරලව එය පළමු පේලියෙන්ම පහදා දෙයි.

සමහර විටෙක මේ බවුන් වඩන්නා ඇය ශෘන්ගාරය මුසු නර්තනයක යෙදෙනවා අහඹු ලෙස දුටුවා වන්නට පුළුවනි. නැතිනම් ඇය ඒ ආකාරයේ තැනක සිට මේ තපස් ආරාමයක් අසලින් ගියා හෝ ගැවසුනා වන්නටද පුළුවනි.

බවුන් වඩන්නාට ඒ සිදුවීම තම තපස සිඳ බිඳ දැමීමට හේතු වෙයි. ඒ සුකොමාල ස්ත්‍රියගේ ස්ත්‍රී ලාලිත්‍ය තමා කාලක් තිස්සේ අමතක කර දමා, තපසින් වල දමා, කාමයෙන් මිදී ලබා ගත් සිතේ සමාධිය බිඳ වන්නකි. බවුන් වැඩු ඇස් දැන් ඒ දැක රාගයෙන් මත් ව සිටින මොහොතයි. තම ජීවිත අසපුව තුළ දකින්නට නොපැතූ දෙයක් හමුවට ආ මොහොත මෙයයි.

හංස යුවලක් වන්ව මනාව පිහිටි පියයුරු, හැඩැති නිතඹ - උකුල හා රහස් පෙදෙස පෙන්වාලමින්, ලෙළෙමින් ඇරයුම් කරයි ඇයගේ සළු පටවල්... රති වින්දනය පිණිස. සිතේ ලැගුම් ගෙන හුන් සමාධිය පලවා යවමින්.. උමතු රාග හැඟුමන් පුබුදුවා ලමින්. මොහොතකට සිතේ කා වද්දමින් මෙය නෙවෙදැයි තව්තිසා දෙව්ලොව කියා. එය රාගයෙන් උමතු වූ සිතකට සුන්දර යාමයකි. සුන්දරම මොහොතකි.

නමුත් මොහොතකට අසිහිවත් වුනු සිත ගැන, බවුන් වැඩූ ඔහු කලකිරීමකට පත්වේ. කුමක්ද මේ සිදු වූයේ.. ජීවිත අසපුවේ රාග ජාලා වන් සිතුවිළි යටපත් කරමින් ගෙවූ ඒ නිහඬ දිවිය, මානසික සහනය දැන් කොහිද..?. එය දැන් රාග ගින්නට අළුවී ගොස්ය. ලබා සිටි චිත්ත සමාධිය දැන් පහව ගොස්ය. මා ඒ අසපුවේ රැඳී සිට සොයමින් සිටි ඒ සුවය දැන් කෝ...

 

මේ අපූරු පද පෙළ අකුරු කරන්නේ K. D. K. ධර්මවර්ධන නමැති, යටගිය දක්ෂතා පරිපූර්ණ පදරචකයායි. ඔහුගේ පද රචනා පුරා වස්තු විෂය, යෙදෙන මොහොත, පද තෝරා ගැනීම, කථකයා වැනි තැන් ගැන මනාව දැන සිටි අතලොස්ස අතරේ කෙනෙක් නිසායි පරිපූර්ණ පදරචකයා ලෙස නම් කරේ. මේ ගීතයේ පද සංඝටනාවේ පවා එය මනාවට දැක ගත හැකි. ඒ වාගේම එයටම සරිලන සංගීත භාවිතාවක් යොදමින්, ගීතය ආරම්භයට පද පෙලේ යෙදුනු සළඹ, හඬද අපූරුවට ගෙන ආචාර්ය වික්ටර් රත්නායකයන් ඉතා ලගන්නා සුළු සංගීතයක් ලබා දී තිබේ. බවුන් වඩන්නෙක් ඒ සඳහා පෙළඹෙන්නේ බොහෝ විට මධ්‍යම වයසට ආසන්න තරුණ කාලයේය. මේ ගීතය ගයන මොහොතේ අමරදේව ශූරීන්ද ඒ වයසේ පසුවීමත්, භාවාත්මක හඬත් යන දෙකාරණයන්ම නිසා ගායනයද ඉතා උසස් තත්වයක ඇත. පරිපූර්ණ ත්‍රිත්වයක සංයෝගයෙන් නිමැවුණු ‘කුමරියක පා සළඹ’ ගීතය තවමත් යාත්‍රිකයාගේ බිඳුණු දැහැන් හා විඳපු සුයාමයන් මතක් කරවන්නකි....

13 comments:

  1. මගෙත් කැමතිම ගීයක් ඕක.

    ReplyDelete
  2. හ්ම්....සිංදුව නං ලස්සනයි තමා. ඒත් විච්චේදනය කරන්න ගියොත් ආතල් කැඩෙනවා. ඔය සිංදුවෙ තියන හැටියට, උන්දැගෙ "බවුන්" නං ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ.🤔

    රසවත් විචාරයක්.🙏👌😉

    ReplyDelete
  3. KDK මහතාව මෙලෙසින් හෝ ඇගයීමත් ඉතා හොඳයි!

    එතුමා ලියූ ගී ඇතුලත් ප්‍රසංගයත් නම් කර තිබුනේ 'කුමරියක පා සළඹ ..' නමින්. මටත් 76-80 අතරේ දිනයක, වැල්ලවත්ත රාමක්රිශ්න ශාලාවේ තිබුණු ඒ ප්‍රසංගය බැලීමේ වාසනාව ලැබුණා. රසිකයන්ගේ අවාසනාවට එය ඊට පසුව පැවැත්වූ බවක් ආරංචි වුණේ නෑ.

    ReplyDelete
    Replies
    1. මටනම් ඒතරම් වාසනාවක් තිබ්බෙ නෑ. ඔහු නොඇගයුණු දක්ෂයෙක් ඇත්තටම නිදි

      Delete
  4. මම කැමතිම සිඔන්දුවක්. මගේ ප්‍රථම ප්‍රේමය පොතේ මුල් හරියක මම සින්දුව ගැන සඳහනක් දාල තියනවා. මට හිතා ගන්න බැරි සින්දුව ගැන ලියන හැමෝම තාපසයෙක් සිතින් මවා ගන්නේ ඇයි කියල. මෙතන කලින් ටහ්රුනියක ගේ පහස නොලබපු තරුණයෙකුට ඇතිවන හැඟීම් ගැන කියවෙන්නේ. ප්‍රේමය හා රාගය එකවර උපදින හැටි ගැන. අනික කෙල්ලෙක් එක්ක ප්ලටෝනික් යාලුකමින් ඉන්න ගොඩක් ආසියානු පිරිමි හදිසියේ දකින ලස්සන කෙල්ලෙක් සමග රාගයෙන් බැඳිලා පෙමින් වේලෙන්න පුළුවන්. මෙතැන එහෙම එක්ක වෙන්නේ මට නම් හිතෙනේ විධිහට

    ReplyDelete
    Replies
    1. අජිත්, ඔයා හරි. රසිකයන් තාපසයෙකු මවා ගන්නෙ 'වසා සිටි නෙතු පියන්' 'සම වැදී උන් දැහැන්' වගේ යෙදුම් නිසා වෙන්නැති.
      ඒ වගේමයි,දේව කතන්දර - බණ කතන්දර කීපයකමත් තියෙනවානේ උග්‍ර තපස් රකින තවුසන් හමුවට රූබරියන් එවලා සිල් බිඳපු හැටි ගැන... ඒවා මතක් වෙනවා අත්!

      Delete

    2. "මට හිතා ගන්න බැරි සින්දුව ගැන ලියන හැමෝම තාපසයෙක් සිතින් මවා ගන්නේ ඇයි කියල". - අජිත් සිංහල ගීතාවලිය දිහා හරියට බැලුවනම් තේරෙයි ඔයාගෙ ඔය මතය සම්පූර්ණ බොරුවක් කියල.

      k.d.k ධර්මවර්ධන අවස්තාව අනුව පද භාවිත කරන දක්ෂ රචකයෙක් කියලම තියෙද්දී නිදි තේරෙන්නෙ නැද්ද නිකං කෙනෙක් ගැන නෙමේ මේ කියන්නෙ බවුන් වඩන්නෙක් ගැනයි කියල.

      මෙතන ප්‍රේමය ගැන නෙවෙයි රාගය උපදින හැටි ගැන කියවෙන්නෙ. බවුන් වඩන ජීවිතයකට හුරු වූ වෙකුට රාගය දැනෙන අයුරු විස්තර වෙන්නෙ හා ඒ ඔහු තුළ ජනිතවන හැඟීම් සමුදාය කැටි කරලා කියවෙන්නෙ. එක පැත්තකින් රැකගෙන ආ තපස, අනෙක් පසින් එය බිඳවන හා බිඳවූ රාග ගින්නත්, ඒ දෙකේ ගට්ටනය තුළ තවුසාගෙ චිත්ත අභ්‍යන්තරය තමා මේ ගීතය


      Delete
    3. මම කීවේ මේ සින්දුව ගැන. "කුමර බඹසර අසපුවේ සිට " කියල කියන්නේ කුමාර බඹසර කියන එක තාපස වෘතයට සමාන කරලා. බවුන් වදන්නෙක් ගැන නෙමේ මේ කියන්නේ. කුමාර බඹසර නමැති අසපුවේ සිටි මා සම වැදී උන් දැහැන් බිඳුනා . තමන්ව තපසයෙකුට සමාන කරලා. බවුන් වඩන්නෙකුට සමාන කරලා. රාගයෙන් තොර ප්‍රේමය ලංකාවේ කතා කරණ විකාරයක්. රාගයයි ප්‍රේමයයි හුඟක් වෙලාවට එකට යන්නේ. අපි හමොමං කුමාර බඹසර නැත්නම් කුමාරි බම්බ්සර නමැති රාමුවක ඉන්නවා තපස් රකිනවා වගේ. ඊට පස්සේ දකින ස්ත්‍රී නිමිත්ත හෝ පුරුෂ නිමිත්ත නිසා හැඟීම් ඇතිවෙලා හිත කලබල වෙනවා. ඒක ගැනයි මේ කියන්නේ

      Delete
    4. කළා නිර්මානයක විවිධ අදහස් උත්පාදනය වෙනවා. උපමා, රූපක භාවිතාවේ දී එය තවත් වැඩි වෙනවා. ඔබ කියන අර්ථයත් නිසැකවම ගීතය තුළ තිබෙනවා.

      ධර්මවර්ධන ගෙන තියෙන පද දිහා ආයෙත් විමසීමෙන් බලන්න අජිත්. මන් කිව්වෙ, ඔහු භාෂා භාවිතයෙ ඉතා හසල දක්ෂයතාව ඇත්තෙක්. අපි කළා නිර්මාණයක් රසවිඳ එය අවබෝධ කර ගැනීමට රචකය, නිර්මාපකය ගැනත් පොඩි අවබෝධයක් තිබීම එයට තවත් ප්‍රයෝජනයක්.

      බඹසර, රාගයෙන් තොර ප්‍රේමය ගැන ලංකාවේ කතාව විකාරයක් ද ඇත්තටම. ලෝක සාහිත්‍ය ගැනත් පොඩි විපරමක් දැම්මොත් තේරුම් යයි එය විකාරයක් නොවෙන වග. යම් දවසක ලියමනකින්ම එයට පිළිතුරක් එක් කරන්නම්. කොහොම නමුත් විවාදපන්න මාතෘකාවක්

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. දැන් ඔය සින්දුවේ "නිසල ජීවන තපෝ වන මැද "කියන කොටසේ නිසල ජීවිතය තපෝ වනයකට (වනයක ඉන්න තවුසෙකුට) උපමා කරල තියෙන්නේ. නැතුව තවුස නෙමෙයි.
      //බඹසර, රාගයෙන් තොර ප්‍රේමය ගැන ලංකාවේ කතාව විකාරයක් ද ඇත්තටම. ලෝක සාහිත්‍ය ගැනත් පොඩි විපරමක් දැම්මොත් තේරුම් යයි එය විකාරයක් නොවෙන වග// ලෝක සාහිත්‍යයේ තියනව unrequitted love කියල. ඒක ලංකාවේ කියන "ප්‍රේමය නම්වූ රාගයෙන් තොර " කියල අපේ පරම්පරාවකටම කෙළවල දමපු, දමන බොරුව ගැන නෙමෙයි. වදරින් හයිට්ස් ගත්තොත් ඒ වගේ ආදරයක්. නමුත් හිත්ක්ලිෆ් ට කැතරින් ව අල්ලාගෙන තුරුළු කර ගන්න ඕනේ. ඒක තමයි අවසන් බලාපොරොත්තුව. ජේන් අයර් , කොලරා කාලේ ආලේ , මිඩ්ල්මාච්, The Sorrows of Young Werther is a 1774 epistolary novel by Johann Wolfgang von Goethe,- one sided love එක ගැන. රොමැන්ටික් ප්ලැටොනික් ආදරය ගැන. ඒ කියන්නේ හැඟීම් තියනවා. හමුවෙන්න බැහැ . නමුත් අවසන් බලාපොරොත්තුව හමුවීම. රාග මිශ්‍රිත වැළඳ ගැනීම. ඒක නැතිව පවතින්න බැහැ . සොබා දහමේ අනගිම දායාදය අපට දීපු. ඒ තමයි ආදරය කිරීම සහ ආදරය ලැබීම

      Delete