Tuesday, October 12, 2021

ඇයද මව් නම් විය - 3 කොටස

 

නංගි උඹ ගාව 500 නැද්ද ගන්න. පඩි දවස දෙන්නං...

අනේ අක්කේ, දෙන්න තියා... බෝඩිමේ වයසක ජෝඩුවත් කන්න බලං ඉන්නේ මාව. ගිය මාසේ කුලියත් වැඩි කරා... රමණි අක්කාගෙන් අහල බැලුවොත්.

හ්ම්.. අහල බලන්න ඕන.

ඒක නෙම් කවුද අක්කත් එක්ක මේ ටිකේ කතා කරන්නේ ෆෝන් එකෙන්..

ක..වු.රු කතා කරන්නද බං..

හ්ම්..

සීත ඔයාව හම්බෙන්න කවුද ඇවිල්ල.. ටග්ගාල ගිහින් වරෙන්... සුපවයිසර් සෙක්ෂන් එකට ඇවිත් කීවේ දෙදෙනා දෙසම බලමින්ය.

වැඩටික අල්ලගත්ත නෙ.. කෝ බලන්න. මේක තව ටිකක් ඉඩ තියල කපන්න.

හරි සර්..

සර් කියන්න ඕන නෑ ළමයෝ..  ඇයි දවස් පඩියට එන්නෙ. ගාමන්ට් එකට ජොයින් වෙන්නකෝ...

නයිට් කරන්න බෑ.. පුතා තනියම දාල එන්න විදිහක් නෑනෙ.

එතකොට ඔයා බය නැද්ද තනියම ඉන්න..

බෝඩිමේ අයිතිකාරයොත් එතනම තමයි ඉන්නේ ස..ර්.

 

මොනවද කුටු කුටු ගෑවේ සුපවයිසරය.. දන්නවනෙ. බලාගෙන ඕක මහා එපා කරපු එකා.. වරෙන් කන්න යං.

නයිට් ඒකටත් ඉන්න බැරිද අහනවා... කවුද ආවේ.

අ..ආ... මේ අයියගේ නෑ දෑ කෙනෙක්. සල්ලි වගයක් ඉල්ලුව එක දෙන්න.

..අර ෆෝන් එකෙන් කතා කරන කෙනාද.

කවුරු කතා කරන්නද බං.. මාරයා ඇරෙන්න.. අනිද්දා පොඩි එකාගේ ඉස්කෝලෙන් රු 150 ගේන්න කියල සත්තුවත්තේ යන්න.

එච්චර..

අනේ මන්ද බං.. ටිකට් එක රු 80යි. කන්නයි, බස් එකටයි ඉතුරුවලු.. වෙලාවකට හිතෙනව ඉස්කෝලේ යවන්නැතුව ඉන්න.

 

එහෙම කියද්දීයි ඇයට මතක් වූයේ තම පුතුගේ මොන්ඩිසෝරි උත්සවයට රු 700ක් අවුරුද්දට පෙර ගෙන එන්න කියා කී බව. කාමර කුලී, ආහාර, බස් වියදම් වලට යන මුදල හැරුණු විට මාසයටම ඇයගෙ අතේ ඉතුරුවන්නේ රු 50 හෝ 60ක් පමණි. ඉතින් කොහොමින් නම් රුපියල් හත්අටසියයක් එක් උත්සවයකට සඳහා ගෙවන්නද? කොහොමින් හෝ ගෙව්වත් මාසයේ ඉදිරි දින ටික මොකක් කර ජීවත් වන්නද?..

 

ගෙවල් ගානේ ගිහින් සල්ලි හොයන්නද කියන්නේ... ඒක හොඳයි.

ආ දන්නවද... එහෙනම් ඉතින් මොනාද තව කතා.. මාත් දන්නව උඹේ හැටි.

අක්කේ.. හිමීට. කෑ ගහන්න එපා..

උඹ එන්නතුවම හිටපං.. අනේ යකෝ.. මං කැමතිදේ මං කරනව... ඔව් ඉතින්.

අයිය.ද..

ඌ තමයි. වෙන මොකාද... මගේ වැරදි කියනව මෙතන.. එහෙන් අර නාකි ජෝඩුව ගෙදර ගියාම කන්න හදනව. ඌ මෙහෙන් කන්න හදනව..

 

චායාරූ අන්තර්ජාලයෙනි

එදිනත් ඇය ගෙදර එන විට දරුවා රූපවාහිනිය නරඹමින්ම නින්දට ගොස්ය. පියෙක් නොමැති දරුවෙක් භාර ගැනීමට පෙර පාසල් කිහිපයක්ම අකමැති වූ නිසා ඇයට තම දරුවාව ඇතුළත් කිරීමට හැකි වූයේ නගරයට බොහෝ දුරින් පිහිටි පෙර පාසලකටය. එක් අතකට එය සහනයකි. මන්ද කුලී නිවස ආසන්නයේ ඇති පෙර පාසල් වලට වැඩි මුදලක් ගෙවන්නට සිදුවන නිසාවෙනි. නමුත් දැන් තමුන්හට අවුරුද්දට පෙර මෙම  පෙර පාසලට ගෙවීම සඳහා රු 700ක මුදලක් සොයා ගත යුතුවේ. කොහෙන් හෝ මුදල් වැයවන මාර්ගයක් විවෘත වූවත්, ලැබෙන එකඳු මාර්ගයක්වත් නැත. විවාහ වීමට පෙර දුටුව සුන්දර අනාගතය, උදෑසන අවදිවීමට පෙර දැකගත් සිහිනයක් මෙනි. දකින මොහොතේම බොඳවී යයි. ඇය සිහින මැව්වේ නගරයට වී සැපවත් ජීවිතයක් ගෙවන්නටම නොව. තම සැමියාත් සමග යහපත්, සතුට පිරි ජීවිතයක් ගෙවන්නටය. දැන් එය කෙසේවත් සිදු නොවන සිදුවීමකි. කුලී නිවසට පිවිසෙන මාර්ගයට ආසන්න වෙද්දීම හදිසියේම කඩාහැලෙන වැස්සෙන් නොතෙමී බේරුනේ කල්පනාවේ ගිලී මහමගේ පැමිණියත් ඉකමන් අඩි තිය තියා ආ නිසාය.

 

අ..ම්ම අඬනවද..

නෑ පුතේ.. මේ එද්දි වැස්ස..ට තෙ..මුනා

දැන්නෙ වැස්ස පටන් ගත්තෙ අ..ම්මේ...

17 comments:

  1. අද කොටස මරු. අර අන්තිම දෙබස..

    අ..ම්ම අඬනවද..

    නෑ පුතේ.. මේ එද්දි වැස්ස..ට තෙ..මුනා

    දැන්නෙ වැස්ස පටන් ගත්තෙ අ..ම්මේ

    ❤️❤️❤️❤️

    ReplyDelete
    Replies
    1. තුති මහේෂ්. ටික කලකට කලින් ලිව්ව එකක් වෙලා නෑ දැන් ලියන්න. lockdown අකුලා දැමීමේ අතුරු ප්‍රතිඵල

      Delete
    2. පුලුවන් විදිහට ලියමු.. ❤️

      Delete
  2. එක හුස්මට කියෙව්වා. හොඳයි. ඒත් මගදි, අනාත වුනා. මෙන්න මෙතන:
    \\ගෙවල් ගානේ ගිහින් සල්ලි...\\
    ඒ දෙබස් කියන්නෙ කව්ද? එතකොට "අයිය.ද.." කිය;අ ඇහැව්වෙ කව්ද? මෙතන දුරකථන සංවාදයකුත් තියෙනවද?

    මේ කතාවෙ, දිගට දෙබස් යනව, කතාව ඔබේ හිතේ තියෙන නිසා ඔබට පැටලෙන්නෙ නෑ. ඒත් කියවන අපට පැටලෙන්න ඉඩ තියෙනවා. මම කියන්නෙ, ටියුබ්-ලයිට් මට, අඩුම ගානෙ.

    මේකට විසඳුම හරියටම කියන්න දන්නෙ නෑ. වරක් බුරා නං කිව්වා,දෙන්නගෙ දෙබස් වලට පාට දෙකක් දාන්න කියලා.

    ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. මටත් තේරුනේ නැහැ , ඒ වුනාට කතාව හොඳයි

      Delete
    2. මේක එක්තරා ක්‍රමයක් බස්සා, අජිත්. සරල කතාව තැන් තැන් වලින් හිතන්න යොමු කරවනවා පාඨකයාව. ඒත් මන් හිතන්නෙ නෑ ඔයාල කිව්වා වගේ මන් සාර්ථක ඇති කියල..

      Delete
  3. කතාව කියවද්දි, ලංකාවෙ අධ්‍යාපන මාෆියාවත්, යල්පැන ගිය ක්‍රමයත්, ඒ තුල "රැට් රේස්" දුවන දෙමව්පිය-දරු පරපුරත් ගැන දුක හිතුනා. දේශපාලනයට අකමැති නිසා, ඔච්චරයි කියන්න තියෙන්නෙ.😒

    මේකත් එක්තරා ක්‍රමයක්. කතාවකින් ප්‍රශ්ණෙ ඉස්මතු කරන එක.😊👌

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. සමහර කතාවල එකපාරට වෙන සිද්දියක් එතන ඉඳල තියෙනවා. හැබැයි එකත් තෙරෙනවා. එත් දෙක සම්බන්ධය කොතැනද කියල පාඨකයා අවධානයෙන් තේරුම් ගන්න ඕන

      Delete
  4. බලල අදහස් කියහං. මේක කරන්නෙ බොලාට, අලුත් අයගෙ අදහස් වටිනව.🙏🤔
    https://balunakuta.blogspot.com/2021/10/blog-post_14.html

    ReplyDelete
  5. කියවමින් ඉදිරියට...
    හරිම ලස්සනයි!

    ReplyDelete