Friday, October 8, 2021

ඇයද මව් නම් විය - 1 කොටස

     ඇය පළමු පෙම්වතාම තම ස්වාමි පුරුෂයා කරගැනීමට තරම් වාසනාවත එකියක් වුවාය. නමුත් ජීවිතය එතරම්ම වාසනාව කැන්ඳන යමක් නොවන වග ඇය කල්යත්ම තේරුම් ගත්තේ එක පිට එක සිදුවන සිදුවීම්වල ඇති අමිහිරි හා කටුක ස්වභාවය නිසාමය. තම ස්වාමිපුරුෂයා හදිසි අනතුරකට මුහුණ පා මිය ගියේ විවාහ වී හරියටම වසර 3ක් ගිය තැනය. ඒ සිඟිති දරු පැටවෙකුට පිය උරුමයද අහිමි කරමිනි. අමාරුවෙන් අඟහිඟකම් මකා ගනිමින් ඇය හා පුතු කුලී නිවසක ජීවතය ගෙවන්නට වූයේ  මියගිය සැමියාගේ ජීවිත රක්ෂණයට පින් සිදුවන්නටය. ඒ අතර ඇය අර්ධ කාලීන රැකියාවක් සොයාගත්තේ නැවතත් ගමට යෑමට ඇති අකමැත්ත නිසාවෙනි.

****

 

මේ කීවෙනි බ්ලොක් එකද උඹ කපන්නේ.. තාම 2යි. පැයට 50ක් කපල යවන්න ඕන. ඉක්මනට අත හුරුකරගත්තේ නැත්තං වෙන සෙක්ෂන් එකට මාරුවෙයන් මාව කන්නේ නැතුව... ඒ කටින් සෙක්ෂන් එකේ වැඩ පරීක්ෂකය. ඔහු කෙනෙක් හට කුණුහරුපෙන් බැනීමට වුවද පැකිළෙන්නේ නැත. ඒ තම ටාර්ගට් කවර් කරගැනීමටය.

 

උඹේ පලවෙනි job එකද..? ඒ සීතාය.

ඔ..ව්.

කලින් මුකුත්ම කරල නැද්ද? ඔහේ ගෙදරටම වෙලා හිටිය...

නෑ. කලින් පොඩි ළමයින්ට පන්ති කරා ඉස්කෝලෙන් අවුට් උන කාලේ...

අත හොල්ලන්නැතුව කට හොල්ල්ලන බෑ... ඉක්මනට වැඩ ටික අල්ලගනින්... නැත්තං ඉතින් ඔයිට වඩා කුණුහරුප තමා අහන්න වෙන්නේ එහා පැත්තේ ඉන්න කොල්ලන්ට ඇහෙන්නත් එක්ක. උඹ තාම දන්නේ නෑ සුපවයිසරයගේ කට ගැන. ඒ වගේම තමයි ඕක හරි මනමාලය.

හ්ම්.. මං ඉක්මනට අල්ලගන්නම් අක්කෙ...

ආ.. නවත්ත ගනින් කතාව. සුපවයිසර් ගියා විතරයි කතාව පටන් ගත්ත මෙතන.. කටින් එකේ නායිකාව වන අරුණි කෑගැසුවාය.

මං මේ මේකිට වැඩටික ඉක්මනට අල්ලගන්න කිව්ව විතරයි බං..

උඹ අද නයිට්ද..

නෑ බං අද නැන්දම්මල යනව එයාලගේ පොඩි දුවලගේ ගෙදර..

ඒ උඹේ මිනිහ තාම නිවාඩුවට ගෙදර ආවේ නෑ නෙ..

අනෙ කවද එයිද මන්ද..

අන්න බෙල් එක ගැහුවා උඹට දැන් යන්න පුළුවන්. සීතා ඇයට කීවාය.

චායාරූ අන්තර්ජාලයෙනි


 

වරුවම රෙදි කපා හවස ගෙදර යන විට ඇයගේ අත් දෙකම රතුවී හටගත් කරගැටද පිපිරී තිබිණි. ඇය නැති අතර දරුවා බලාකියා ගැනීමට කුලී ගෙදර වයසක යුවල කැමති විය. ඒ ගෙවල් කුලියට අමතරව ලබාදෙන වැඩිපුර මුදලකටය. මුදල් ගනුදෙනුවක් වුවත් එක් අතකින් ඇයට එයද යම් සහනයකි. රක්ෂණයෙන් ලැබුණු මුදලද වියපැහැදම් වී දැන් ඇය සතුව ඇත්තේ එයිනුත් සුළු කොටසකි. එයත් වියදම් වූ පසු ඉතුරු කරගත් මුදලක් කියා දෙයක් නැත. ගමෙන් එද්දී ගෙනා මුදලක්ද අය සතුව නැත.

 

වැඩ අමාරුයිද කෙල්ලෙ.. කියමින් ඇය එන දිහාවට හැරෙමින් මහලු කාන්තාව ඇසුවාය.

නෑ ඇන්ටි එහෙමමත් නෑ. ටිකක් නිදිමතයි වගේ.

එහෙමද.. ඔතන ඉස්සර ගොඩක් කට්ටිය වැඩ කරා.. දැන් වැඩ අඩුයි මයෙ හිතේ.

වෙන්න ඇති. කෝ පුතා ඇන්ටි..

ආන්න.. මහත්තයත් එක්ක tv බලනව...

 

කුඩා දරුවන්ට රූපවාහිනිය බැලීම හොඳනැති වුවත් එය නැරඹීමට නොදෙන්න කියා මේ වයසක ජෝඩුවෙන් ඉල්ලන්නට ඇයට බැරිය. මක්නිසාද යත් වෙනින් දරුවෙක් තම දරුවෙක් සේ බලාකියා ගැනීමට කිසිම අයෙක් නොවෙහෙසෙන නිසාය. සාලයට යද්දී කුඩා දරුවා රූපවාහිනිය බලමින්ම සැටිය මත නිදි සුව විඳිමින් සිටිනවා දුටු ඇයට මහත් සංවේගයක් ඇතිවිනි. ඇය හෙමිහිට දරුවා වඩාගෙන සිඹිමින්  කාමරය වෙත පිය නැගීය.

 

අ..ම්..ම ආවද. ඒ වචන ඇයගෙ හදවත පුරා විහිදී යන විදුලි දහරාවක් මෙන් දැනී යද්දී ඇය තව තවත් තම පිය සෙනෙහේ අහිමි දරුවාව තුරුළු කරගත්තාය.

6 comments:

  1. සුපිරි.. ලියමු... තාම වචනයක් විසික්කන්ට බයයි. ඉස්සරහට කෝම වෙයිද... ඒක ඉස්සරහට ම බලමු නේද.. 😃😃😃. ජය..

    ReplyDelete
    Replies
    1. තුති මහා. සම්පූර්ණ කතාව ලියල අහවරයි. පොඩි චෙක්කිරීමකුයි ඉතුරු

      Delete
  2. කියෙව්වා, හොඳයි. කියවන්න පහසුයි. ඔහොම යං.😊

    ReplyDelete