Monday, January 3, 2022

ඇයද මව් නම් විය - 10 කොටස

 


උඹ ගිය දවසේ තාත්ත මාව කම්මුතු කරේ නැති ටික විතරයි. පහු පහු වෙනකොට ටිකක් හරි ගියා. දැන් උඹ ඉන්නේ ඔය මැරිච්ච මිනිහගේ ගෙදරද.. නැත්තං වෙනමද...

 

නෑ වෙනම අම්.මෙ.. ඒ වචනය ඇය අවුරුදු කීපයකට පසු කීවේ වෙවුලුම් කන දෙතොලිනි. දැන් තමුන්ද තම අම්මා මෙන්, අම්මා කෙනෙක් වී අවුරුදු කිහිපයක් ගෙවා දමා ඇත. ආ හැටියේ මව දෙදෙනා දෙසම බලා කඳුළු වගුරුවමින් කතා කරන විට ඇයටද නොහඩා සිටීමට සිතේ කිසිඳු දහිරියක් නොවීය. පැය කිහිපයකට පසු කුඹුරට ගොස් ගෙදර එන තවතවත් රැළිගැසුණු හා ඉර අව්වට පිළිස්සුනු හම සහිත පියා දැක ඇයට තව තවත් දුකක් මෙන්ම කිසියම් භයක්ද ඇතිවිය. නමුත් පියා වචනයක්වත් නොදොඩාම පුරුදු පරිදි පිටුපස දෙසිං ගෙට ඇතුළු විය. මව ඔහුට දවල් ආහාරය පිළියෙළ කර දීම සඳහා ඇයත්, දරුවාත් තනිකරමින් කුස්සියට පිටත්විනි.

 

කෝ පුතා මෙහෙට එන්න.. මෙතනින් ඉඳගන්න

ඒ ආවේ කවුද අම්..මේ

ඒ තමයි පුතේ පුතාගේ අම්මගේ, අම්මයි තාත්තයි. ඒ ආවේ පුතාගේ සීය.. දැන් ඇතුළට ගියේ ආච්චි

එතකොට අපි ඉන්න තැන ඉන්න ආච්චියි, සීයයි අපේ නෙමේද..

නෑ පු..තා. ඒගොල්ලෝ අපේම අය නෙමේ..

අම්මේ අපි මෙහෙ ඉන්නවද..

පුතා කැමති මෙහෙ ඉන්නද .. නැත්තං හිටපු ගෙදර ඉන්නද

අම්ම ඉන්න කැමැති කොහිටද..

 

එයට එක එල්ලේම උත්තරයක් දීමට ඇයට නොහැක. කොළඹ කුඩා ගෙදරට වඩා අක්කර භාගයක් හිමි ඉඩමේ සාදා ඇති මෙම නිවසේ ඉඩකඩ ඇති තරම් ඇත. අක්කාද එන්නේ මාස 2කට සැරයක්ය. මල්ලීත් නිතරම ගෙදර නැත. එහෙත් නැවත දෙමාපියන්ට බරක් වීමට ඇයට නොහැකිය. ඒවගේම කොළඹ ජීවිතයට දැන් ඇය හුරිවී හමාරය. අකමැති වුවත් හිත ඇත්තේද කොළඹ හිරවී ගෙවන ජීවිතයටය. මේ කල්පනාව අස්සේ හිරු අවරට ගොස් ඇති නිසා අම්මා පැමිණ කුප්පි ලාම්පුව පත්තුකර සිටියාය. ඒ මොහොතේම ආ පළගැටික් එහි වැදී එතනම පිච්චී වැටිණි.

 

මේ බලපං මේ කොලුවා ඇදිල ගිහිල්ල... උඹ දැන් තනියෙම මොකක් කරනවද.. ඔය හත්දීපංකරවල.. වරෙන් මෙහෙ. ඇවිත් ඉන්න බැරිය..

ඔය යන ගමන් උදේකට තියා ගත්ත..නම්. ඒ හඬ ඇයගේ පියාගෙන්ය.

නෑ.. මේ මං කිව්වේ තනියෙම ළමයත් එක්ක ඉන්න එකේ.. දෙන්නටම මෙහෙ ඇවිත් ඉන්න කියල... අපේ මහත්තය..

මං යනව.. උක්කුවලගේ දිහා.. කෝ පොඩි එකා..

තාම ආවේ නෑ.. එහෙම තාමා ඇත්තේ. එන්න කියන්න අක්කත් ඇවිත් කියල..

හ..හ්ම්.. හ්ම්..

මල්ලි හැමදාම එහෙ යනවද.. අම්..මේ

අනේ මන්ද ඉතින්.. ඌයි අර රංගීගෙ නංගියි, මැරිච්ච සියාතුගේ ලමයයි දවසෙම ඇවිද ඇවිද ඉන්නව... එහෙන් මෙහෙටයි, මෙහෙන් එහෙටයි..

 

එදා ගමෙන් යද්දී තම මල්ලි හා රංගිගේ නැගෙණියත් සත් හැවිරිදි වියේ පසුවිය. එසේ නම් දෙදෙනාම දැන් 12වයසේ පමණ විය යුතුය. කුඩා කල සිට දඟකාර කමට හැදුණු දෙදෙනාම වෙනස් නොවී ඇති සැටියකි. අම්මාද, තාත්තාද, ගමද කිසිවක් නොවෙනස්ව තමාගේ වෙනස්වීම පමණක් විදහාපාන්නට හදනා සැටි යැයි ඇයගේ සිතට හැඟෙ. ගෙදරද එදා ගමෙන් ගිය දවසේ මෙන් බිත්ති පැහැය පවා වෙනස් නොවෙමින් එලෙසම තිබේ.  එදා කුප්පි ලාම්පුව අදටත් මද එළියක් විහිදුවමින් දැල්වේ. නමුත් ඇත්තටම නියම කළුවර ඇත්තේ හැමතැනම බල්බ් වැල් එල්ලෙන නගරයේය. එහි සිටිනා අයගේ සිත්වලය. ඇයට මොහොතකට කුප්පි ලාම්පුව වෙත ඇදෙන පලගැටි දෙස බලමින් සිටිද්දී සිතුණාය.


No comments:

Post a Comment