Sunday, May 29, 2022

කපුටු ලන්තෙ වැසියො //

 


    කලක් පුරාවට අපේ රටේ ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණයත් එක්ක ගැටගැහිලා යන අපූරු ගීයක් හම්බවුනා. කළාකාරයෝ අනාගතේ දකිනවා කියන්නෙ කටකහනවටද කියල හිතුන මේ පද පෙල දැක්ක ගමන්ම.

කපුටු ලන්තෙ වැසියො සැවොම සාමෙන් එක් වෙලා

භේද බින්න වෙන්නෙ නැතුව කාලය ගත කලා

හිටපු ගමන් හදිසියේ රජෙක් පහල වෙලා

අනේ අපොයි රටේ තිබුණු සාමය නැති කලා

 

එක එක පැති වලට බෙදිලා වැසියො රණ්ඩු වුනේ

කපටි රජා වැඩි බණ පද දෙසමින් වැජඹුණේ

අන්තිමේදී පොළොව පවා බෙදා ගන්න අනේ

සටන් කරලා වටිනා කියන ජීවිත නැති උනේ

 

ලෝකෙ පුරා ආරංචිය ගිය විට පැතිරිලා

දොස් නගනව ඇහුන ගමන් රජ කලබල වෙලා

සාම දූතයෙක් යවනව කියමින් පවසලා

කාක්කෙක්ව යැව්වා ඇඟේ සුදු හුණු තවරලා

 

පරවියෙකුගෙ වෙස් අරගෙන සාම කොඩිය වනා

කපුට ගිහින් හැම තැනකම කැත කරන්න වුනා

රජ්ජුරුවෝ ඒ කතා කුණු දෑතින් අන අනා

කපුටු ලන්තෙ දුඟඳ කරල ගෙට වෙල හැංගුනා


ගායනය - ෆ්‍රෙඩි සිල්වා

පද හා සංගීතය - ලාල් සිල්වා

මෙතනින් අහන්න - 

https://www.youtube.com/watch?v=mNP8y-66rXw

Tuesday, April 5, 2022

සිහසුනෙ ඉන්ට රට දැය පාවා නොදෙනූ...//

බමුණා වුණත් දුඳනෙකු නම් බිම හොවනූ
සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ
වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ
කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ

රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ


 


ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ගුණදාස කපුගේ

 


 

Tuesday, March 22, 2022

ඇය යන්න ගියා මැකිලා

 

අපි ආදරය කරන අයගෙන් වෙන්වීම මිනිසාට මෙන්ම සතාසිව්පාවාට පවා දැනෙන මහත් දුක මුසු සිදුවීමකි. ලොවේ එය සනාතන දහමක් වේ. නැතිව එය බුද්ධාගම් කාරයින්ට පමණක් බලපවත්වන නීතියක් නොවේ. මේ විප්‍රයෝගී දුක හුස්මකින්, ඉකිබිඳුමකින්, කවි පදයකින් පිටකර හිත හෑල්ලු කර ගැනීමට, දුක තුනී කර ගැනීමට එදා සුන්දර ගැමියා යත්න දැරුවේය. ඔහු සොබාදහමේ පණිවිඩය තේරුම් ගනිමින් ජීවන යතාර්තයට හිස නැමුවේය. එය තේරුම් ගත්තේය. ඒ සඳහා කවියක් ගොතා සාංකාව දුරුකර ගැනීමට එදා ගැමියාට මහෝපකාරී වන්නට ඇත. බොහෝ කලක සිට අග්‍රගණ්‍ය සංගීත කලාවක් සතු අපට වියෝ දුක පහ කරගැනුමට එය උපකාර කළේය. කරන්නේය.


ගීතයට අවශ්‍ය සෝකී රසය පරිසරයේ ඇති දේවල් සමග ඈඳා ගනිමින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කර ඇත. ඒ පද වැල් වල නිර්මාපකයා සුනිල් සරත් පෙරේරාය. ඊට අනුරූප අයුරින්ම සංගීතය මුසු කළ මියැසි රටාව එච්. එම්. ජයවර්ධනය. ලයාන්විත හඬ මුසුව අමරසිරි පීරිස් ය. මේ ත්‍රිත්වයේ උපරිම රසයෙන් ගෙතුණු ගීතය

ඇය යන්න ගියා මැකිලා........

ආදරයේ මිහිරියාව, සුන්දරත්වය, තුලින් සිතේ මෘදුබව, සෞන්දර්යාත්මක බව ඉස්මතු කළ ඇය පරිසරයේම කොටසක් විය. ඇයට පෙම් බැඳී ඔහුත් පරිසරයේම කොටසක් විය. වන අරණේ, තුරු සෙවනේ ගෙවූ ඒ ආදරණීය මිහිරියාව මකා ලමින් ඈ ඔහුගෙන්ද, මේ ලොවින්ද සමුගෙන ඇත. සමුගත් ඇය උරුමකර දුන් වියෝ දුකින් ඔහුට අවට පෙනෙන මල් පෙති අග ඇති පිණි පොද පවා කඳුළු කැට යයි සිතේ. ඇයගේ මුහුණ වසා ලූ සුදු රෙදිකඩ මීදුම් සළුවක් සේ පෙනේ. සොබාදහම පවා අගේ නික්ම යෑමට නිහඬවම අවසර ලබා දී ඇත.

ඇය සමග ඔහු ගෙව් ආදරණීය කාලය සුන්දරය. ඒ වියෝව හමුවේ පවා සිහි වන්නේ ඒ පැරණි සුන්දර මතකයන් ය. දැන් ඒ මතක පමණක් ඉතිරි කරමින් ඇය ඔවුන්ගේ ආදරයට සමු දී යන්නට ගිහින් ය. ඒ නික්ම යෑම, ඒ සමුගැනීම ගැන සොබාදහම විසින් ඔහුට සිහි කර දේ. ඒ ඇය ආයෙමත් හමු නොවනා බව අඟවමිනි. නමුත් ඔහුට ඈත් සමග ගෙවූ වසන්ත සමයක් ඇත. ඒ නිසා ඔහුට ඉදිරියේ එන ගිම්හානයේ මහත් දුෂ්කර වනු ඇත. නමුත් සොබාදහම නැවත නැවතත්, ඔහුට ගෙවෙන හැම මොහොතකම ඒත්තු ගන්වයි.. ඇය යන්නට ගිහින් ඇති වග

Tuesday, March 1, 2022

ගොවියෝ තුන් දෙනා

 

 මිටියාවත පහළ සත්ත්ව ගොවිපළ තුනක් තිබුණා. මේ ගොවිපොළ හිමිකරුවන් ඒවා හොඳින් පවත්වාගෙන ගියා. ඔවුන් හරිම පොහොසතුන් වුණා. ඒ වගේම නාස්තිකාරයිනුත් වුණා.



මේ තුන් දෙනාගෙන් කවරෙකු ඔබට මුණගැසුනත් තුන් දෙනාම එක වගේ නාස්තිකාරයන් වගේම මහා ලොභයින් වුණා. ඔවුන්ගේ නම් තමයි බොගිස්, බන්ස් සහ බීන්.

බොගිස් කුකුළු ගොවිපොළ හිමිකරුවෙක්. ඔහු කුකුළන් දහස් ගණනක් ඇති කළා. ඔහු අතිශයින් මහතයි. තම්බා පිටිගුලියකින් වසන ලද කුකුළන් තිදෙනෙකු දිනපතා උදෑසන, දිවා සහ සන්ධ්‍යා ආහාරය වශයෙන් ගැනීම ඊට හේතු වුණා. 

බන්ස් පාත්තයන් සහ තාරාවුන් ඇති කළා. ඔහු සතුව පාත්තයන් සහ තාරාවුන් දහස් ගණනක් සිටියා. ඔහු තුන් කුඩු වූ අයෙකු වගේ වුණා. ලොව ඕනෑම පිහිනුම් තටාකයක නොගැඹුරු ස්ථානයේ සිටියත් ඔහුගේ නිකට දිය යට වදිනවා. ඔහු ඩෝනට් සහ පාත්ත අක්මා ආහාරයට ගත්තා. ඔහු පාත්ත අක්මා පොඩිකර අප්‍රියජනක තපලයක් සදා එය ඩෝන්ට් තුළ රුවා ආහාරයට ගත්තා. මෙම ආහාරය ඔහුට බඩේ රුදා සහ දරුණු කේන්තිය ගෙන ආවා.


බීන් කුකුළන් ඇතිකරන අතර ඇපල් වතු හිමිකරුවෙක් ද වුණා. ඇපල්වලින් පිරී ගිය වත්තක ඔහු කළුකුන් දහස් ගණනක් ඇති කළා. ඔහු කිසිඳු ආහාරයක් එකවර ගත්තේ නැහැ. ඔහුගේ ඇපල් වලින් පෙරණ ලද තනුක ඇපල් සයිඩර් (මත්පැන්) ගැලුන් ගණන් ඔහු විසින් පානය කරනු ලැබුවා. ඔහු පැන්සලක් මෙන් කෘෂ වූ අතර තිදෙනා අතරින් දක්ෂතමයා ද වූවා.

මේ තිදෙනා දුටු විට ළමයින් මෙහෙම මුමුණනමින් ගයන්නට පුරුදු වී සිටියා.

බෝගින්ස්, බන්ස් සමග බීන්

මහතා එකයි කොට මිනිහයි කැහැටු එකයි

මේ කපටියො තුන් දෙනා

ලෝභකමින් නම් අනේ

එකාට එකෙක් නෑ අනේ....



Monday, January 24, 2022

ඇයද මව් නම් විය - 12 කොටස (නිමි)

 

රූපය අන්තර්ජාලයෙන් උපුටගන්නා ලදී

"තාම මේ මාසේ කුලිය දුන්නෙත් නෑ නේද මේ ළමය.."

"අපිටත් මේ ටිකේ අමාරුයි ළමයෝ.. දරුවො දෙන්නටත් එන්න විදිහක් නෑ.. ඒ ගොල්ලොන්ටත් ඉතින් වැඩ රාජකාරිනෙ.."

 

"කොන්සට් එකේ ඇඳුම් මහලත් ඉවරයි.. අම්ම සල්ලි දෙන්න ඕන මහන කෙනාට... "

"අම්ම.. උත්සවේට තව දවස් තුනයි.. හෙට හරි අනිද්දා හරි සල්ලි ගෙවනව නෙ..."

"අම්..මේ. හැමදාම කන්න තියෙන්නෙ මේවා විතරද.."

 

"පිටින් එන අයට ළඟ ඉඳලම රෑ ශිෆ්ට් ඒකටත් ඉන්න වෙයි”

"භාහිරින් වැඩට ගන්න අය අඩු කරන්න තීන්දු කරල තියෙන්නෙ.. උඩින්. දැන්ම ගාමන්ට් එකෙන් ආවොත් ගන්නම්.. නැත්තම් කවද ගෙදර නවතින්න වෙයිද දන්නේ නෑ.. "

 

"අඩු ගානට වී හෙට්ටු කරන නිසා හම්බෙන්නෙත් දැන් සොච්චමයි.. ගිය කන්නෙත් වගාවක් හරියට නෑ"

"දැන් තාත්තට ඉස්සර වගේ එච්චර මහන්සියෙන් වැඩ කරන්නත් බෑ කෙල්ලෙ.. ඒ නිසා පොඩි එකත් දැන් ඉඳල හිටලා කුඹුරට එක්කං යනව"

 

මේ හැම සිරවීමකින්ම... ගැලවීමට ඇයට පෙනුණු, වැටුණු පාර අගාධයකි. නරකාදියකි. ඇය එයට දැන හෝ නොදැන පියවර තැබීය. තම දෙමව්පියන්ට, සහෝදරයාට උදව් කිරීමට, දරුවාට හා තමාට ජීවත් වීමට ඇය අකමැත්තෙන් වුවද ඒ තීරණය ගත්තාය. ඇය මැව් සිහින ජීවිතය හමාරවූයේ ඔහුත් සමග කොළඹ ඔහුගේ නිවසට ආ දවසේමය.

 

"අපි ගමේ තියෙන තාත්තලාගේ ඉඩමක පොඩි ගෙයක් හදන් එහෙ පදිංචි වෙමුද"...

"මොනාද අනේ.. බලන්න ලෙඩක් හැදුනහම බේතක් ගන්න හරියට තැනක් නෑ. මතකනෙ මට ඔයාලගේ ගමේ කකුල කැපිල වෙච්ච දේ. බස් එකක් අල්ල ගන්න පැය ගානක් ඉන්න ඕන. ඒ මදිවට මෙහෙ වගේ එක කඩයක් තියෙනවද. ලයිට් තියෙනවද.. ඔයාම කියන්න. කොහොම ඕවයෙ ඉන්නද අනේ... අපි ටික දවසක් මෙහෙම ඉඳල මං කිව්ව අර බෝඩිමට යං"

ඔහු නිතරම කී සැටි ඇයට දැනුදු මතක් වේ. නිතරම ඔහු කොළඹ ජීවිතයේ සැප පහසුව, දියුණුව ගැන කියමින් ඒ කතා මගහැර දමයි. ඒ ඔහු කුඩා කළ සිට හුරු පුරුදු වූ පරිසරය කොළඹ නිසා වෙන්නට පුළුවනි. නමුත් ඇය දැන් සැමියා නැතත් නගරයට වී සිටින්නේ මන්දැයි ඇයම නොදන්නිය. සමහරෙක් විට ඇය මේ කොළඹ හමනා චණ්ඩ සුළඟට හසුවූවා වන්නටද පුළුවන.

 

දැන් ඒ සියලු කතා අතීතයට ගොස් හමාරය. ඒ වෙනුවට ඔහුගෙන් ලැබුණු දරුවාත් සමග ඈ ඔහු කිව් ඒ බෝඩිම් ජීවිතය විඳිමින්, විඳවමින් සිට මුදලට විකිණෙනා එකියකි. ජීවිත් වීමට මුදල අත්‍යවශ්‍ය නිසා එය සපුරාගැනීමට විකිණෙනා එකියකි. ගමෙන් නගරයට අවුදින් ජීවිතය වරදාගත් එකියන් අතර එකියකි. ලිඳට වැටුණු එකා ළිං කටෙන්ම එන්නට ඕනෑ කියන්නා සේ ඈ කොළඹ අව්කාෂ්ට ජීවිතේ ජීවත් වීමට ඊට සරිලන අකාරයේ රැකියාවකට යොමුවුවාය. ගමේ ගෙව් ඒ නිදහස් ජීවිතය ගැන දැන් හාන්කවිසියකවත් ඇයට මතක නැති මුත් ගමට නොවරදවාම මුදල් යැව්වාය. ඒ සරල නිදහස වෙනුවට හිසමත අද මහා බරකි. මේ ඇය ගෙවන්නේ, ගෙවෙන්නේ ඇයගේ හොඳම වයසය. තරුණ අවදියය. තරුණ අවදියේ මේසා බරක් දරා සිටීම ගැන ඇය පැසසුම් ලැබිය යුතුය. නමුත් දැන් ඇය දොස් නගන රැකියාවක නිරතවෙමින් ඒ තරුණ වයස ගෙවා දමමින් සිටින්නීය. තම දරුවා වැඩිවියට උස්මහත් වෙද්දී ඇතිවන තත්වයද ඇය නොදන්නවාම නොවේ. ඒ වාගේම අවට සමාජයෙන් ඇතිවීමට හැකි අවලාද, අපහාස, ගැටළු ගැනද ඇය නොසිතුවාම නොවේ. ඒ සියල්ල දරා ගනිමින් ජීවත් වීම ඇත්තෙන්ම පැසසුම් ලැබිය යුතු නොවේද ..?.

 

නිමි-