Thursday, June 11, 2020

මානුෂීය ප්‍රේමයේ දෝංකාරය

         ජනප්‍රිය බොහෝ දෙනා දක්ෂයින් නොවෙති. දක්ෂ බොහෝ දෙනා ජනප්‍රිය වන්නට තරම් වාසනාවන්තයින්ද නොවෙති. එහෙත් තම දක්ෂකම නිසාම බැබලුන ප්‍රේමකීර්ති ද අල්විස් පසුපස අඳුරු හා රුදුරු සැහැසිකම්ද සෙවනැල්ල මෙන් එකට පෑහී ආවේය.  මානවහිතවාදී ඔහු ගැන මියගිය පසු ඕනෑ තරම් ලිපි, උළෙලවල්, වැඩසටහන්, ගුණානුස්මරණ කර ඇති අතර පාරක්ද නම්කොට හමාරය. නමුත් ඒ මානවහිතවාදියා හා ඒ හදවතින් ජීවත්වූ මනුස්සයා හැඳිනගෙන අප, අප වෙත උකහාගත් යමක් ඇද්ද...

“ගසකට මලක් පළඳවනු නොහැකිය - ගසටම හිතෙන දිනෙක ගසම මලක් පුබුදවා ගන්නවා මිසක”

‘නොසැලෙන ඉන්ද්‍රකීලයක් සේ’ පොතේ සටහන්ව ඇති මේ කවිපෙලින් ඔහු ජීවිතයද තේරුම් කර ඇත. හැන්ද තිබෙන්නේ තම අතේය. ඉතින් ඕනෑ හැටියට බෙදා ගන්නට තීරණ ගැනීමේ අයිතිය තිබෙන්නේද තමා සතුවය. එසේ කිව් ඔහු තමාට අංචි ඇද්ද කිසිවෙකුට පෙරළා වින කරන්නට නොගියහ. තමාට පෙත්සම් ගැසූ අයටද පද වැලකින් පමණක් පිළිතුරු දුනි.

අලුත් කලාවක් හොයා ගත්ත මං

දියුණු වෙන්න ඕනෑ නම්

නිකං ඉන්නෙපා කෝම කෝම හරි 

ගහපල්ලා බං පෙත්සම්  

කෙනෙක් දියුණුවේ ඉහළට යනවා  

බලා ඉඳින්නට බැරි නම්  

කර වටටම දාපියව් තොප්පියක්   

ලෝකේ චාරේ ඒකයි දැන්  

අද ලෝකේ චාරේ එකයි....

තමුන්ට කවුරු හෝ කොක්කක් දැම්මොත් ඔහුටත් එලෙසම කරන අද සමාජයේ කම්කරු පන්තිය එහෙමය. ළඟ ඉන්න කෙනා දුරින් තියාගෙන බොරු friendship එකකින් ඉන්න අය ඕනෑ තරම්ය. වචනයකටත් තමා සමග වැඩ කරන කෙනාත් සමග ඇරගන්න උන්දලා එකට එක් වන්නේ පඩි වැඩි වීමකට, වැඩවර්ජනයකට වාගේ තනිවම මුණ දෙන්නට බැරි අවස්ථාවලදී පමණකි. එහෙත් හදවතක් ඇති කෙනෙක් වූ ප්‍රේම්කීර්ති නම් වෘත්තිකයා එසේ නොවී සියලු දේ හොඳින් තේරුම් බේරුම් ගෙන වල කපන්නාටද අකුල් නොහෙලා පෑන් තුඩින් ඒවාට පිළිතුරු දුන්නේය. සියලු දෙනාම මනුස්සයෝය යන වැකිය කිසිදා bord meeting වල selfi ගහන අද ඈයෝ දන්නේ නැත. ප්‍රශ්නයක් ආ විට තම වෘත්තිය සගයා අඩකොටයට තියා හෝ ඇඟ බේරගන්නා පශ්චාත් නූතනවාදී අද ඈයොන්ට කණ්ඩායම් හැඟීම අහලකවත් නැති අතර කාර්යාලවල මිතුරුකම් තිබෙන්නේද ඒ ස්ථානයේ වැඩ කරනකම් පමණි. ඒ නිසායි මනුස්සකම යටතේ රූපවාහිනියේ පෙන්වන add අප හිතට මෙතරම්ම වැදී තිබෙන්නේ....

ඔහු නන්දා මාලනියගේ ගීත ගුවන් විදුලියේ තහනම් වූ යුගයක ප්‍රයෝග භාවිතා කර ඒ ගී ප්‍රචාරණය කරමින් සුභාවිත ගී අභාවයට යන්නට නුදුන්නේය. අද දවසේ උපදින කිසිඳු ළමයෙක්වත් මේ ගීත අසා නැත. එතරම් කලාත්මක, අරුත්බර ගී වාරණ නොතකා ප්‍රචාරය කිරීමට නොබියව සිටිමින් ඔහු තම වෘත්තීයේ ඇති ගරුත්වය රැක ගත්තේය. අතකොළුවක් වී හෑල්ලුවට පත් නොකළේය. එදා රජයේ මෙන්ම සමාජයේ ඇති වැරදි හැඳින ඒවා විවේචනය කිරීමට ඔහු නොපසුබට නොවිනි. ඒ නිසායි එදා තහනම් වූ ගී ප්‍රචාර වූවා මෙන්ම ඔහුගේ අතින් මිනිසෙකු පිට නැගි අසරුවෙකි, මා එක්කලා අමනාප වී දබර, බැරිබර හින්දයි දරුවන් දුන්නේ, සමනළයා මල හා ළමය සේ, අහසින් පොළොවට කඩා වැටිලද, කන්ඳ කෙන්ද කරනු පිණිස........ ආදි පදවැල් ලියවුනේ.

එහෙත් අද දින අප සමාජයේ බොහෝ ඇදුරන් හා ලොකු පුටු රත්කරන අය පවා  කුමන හෝ දේශපාලන පක්ෂයකට, රැලකට, මතවාදයකට හිරිකිතයකින් තොරව කඩේ යයි. එහෙව් එකේ තමාද එසේ වීම වරදක් නොවන බව සිතා රජයේ ආයතනවල සිටින සාමාන්‍ය සේවකයෝද වැඩකරති. හොඳ දෙයක් තමුන්ගේ නොවුනද එය හොඳ බව ලංකාවේ අය දන්නේ ටික දෙනෙකි. ඒ නිසා ගිය රජයේ වැඩසටහන් නව රජය ආ හැටියේ නවතී. තට්ටු මාරුවට ගිය මේ සියලු රජයන්ගේ විකාර නවත්වන්නට ජනතාවටද නිවැරදි දැක්මක් නැත්තේ මේ ඇති කොන්දේ ඇදය නිසාය. එය කෙලින් කරන්නට යන උදවියටද මේ ලංකාවේ අය red signal දමන්නේ, හරි මග ලංකාවේ එතරම්ම off road වී හමාර නිසාය.

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ... පදවැලත් සමග ප්‍රේම් - වික්ටර් මිතුරුකම මෙන්ම ලාංකේය ගීත ශේත්‍රයට අලුත් පිටුවක් පෙරලිනි. ඒ වාගේම වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය නමැති කෙත මේ කලණමිත්‍රත්වයේ උදව්ද ඇතිව මිහිමත පුරා අස්වදින්නට විය. 1973 ජුලි 20 දා ලුම්බිණි රඟහලෙන් ඇරඹි ‘ස’ ප්‍රසංගයයේ අත්වැල් ගායනයට හා වාදනයට සිටි බොහෝ දෙනා අද ලංකාවේ ජේෂ්ඨ කලාකරුවන්ය. ‘ස’ නොඇසූ, නොදැකපු කෙනෙකේ ඒ අවදියේ නොසිටි තරම්ය. අද ඒ හරවත් හා රසවත්  ප්‍රසංග වෙනුවට කනට දැනෙන, කකුලට දැනෙන සංගීතප්‍රසංග වල් බිහිවන්නා සේ බිහිවී ඇත. ඒ මදිවාට ඔහු ගුවන් විදුලියෙන් ඇරඹි ඒ නිදහස් ආරේ හරවත් කථන සම්ප්‍රදාය වෙනුවට අද ඇත්තේ කට වාචාල නිදහස් නිවේදක පිරිසකි. නැත්නම් වැඩසටහනට පෙර අන්තරජාලයෙන් හෝ කාගෙන් හෝ දැනගත් දෙයක් කටේ තවරාගෙන හරවත් වෙනුවට හරසුන් වාග් සංග්‍රාමයක යෙදීමය. දිනක් ඔහු ජැක්සන් ඇන්තනී මුල් රූපවාහිනී වැඩසටහන කිරීමට පෙර වරුවක් පුස්තකාලයේ ගෙවූ බව දැනගත් විට කියා තිබ්බේ ‘වැඩසටහනක් කරන්න පොත් බලන්න එපා. ජීවිතේට දෙයක් එකතු කරගන්න හදාරන්න. ඒ දෙයින් වැඩසටහන් කරන්න’ කියාය. ඒ කියමන එදාට වඩා අදට කෙතරම් උචිතද....

 කිරිකැටි පුතේ නුඹ මට ලොකුවට පෙනුණි - ලොකුකම කොයිද නම් ඇය මට හමු නොවුණි 

එතකුඳු නොවේ මගෙ තනිකම හිතට දැනී - ඇය මා වැනිම මා වැන්නකු තවත් තැනී

ප්‍රේමකීර්ති මහත් ආදරය කළ තම පුතුට ඒ කවිය ලිව්වා වාගේම අනෙක් දරුවන්ටද ආදරය කළේය. එසේ නැතිනම් තම දියණිය පාසල් ඇරලවන්නට ගිය අවස්තාවක හටගත් සිතුවිල්ලක් මෙදා ගීතයක් ලෙස අප දෙසවන් පිනවන්නේ නැත.

 පුංචි පන්තිවල හැබෑම හුරතල් හොහෙන්ද මේ පොඩි නෑදෑයෝ 

උදෙන්ම පාසල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ 

මව්වරු දන්නැති පියවරු දන්නැති කොතරම් දරුවන් මෙහි ඇතිදෝ 

උන්ගේ නාමෙන් එකමුතුවීයන් දෙපිල බෙදී ඇති දෙමව්පියෝ........

අද ඉන්න දෙමාපියන් සිතන්නේ තම ළමයා ගැන පමණක්ය. පළමු ශ්‍රේණියට දමාගන්නට ලෝකෙ නැති බොරු ගොතන අතරේ ලිංගික අල්ලස් දෙන මව්වරුද නැතුවා නොවේ. තම දරුවා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට මව්වරු පසුබට නොවන බව කෙනෙක්ට කියත හැක. එහෙත් අපට නොපෙනෙන අනෙක් පැත්ත වන්නේ මේ යන ගමන තනි ආත්මාර්ථය මත පදනම් වූ වැඩපිළිවෙළය. පාසලේ rating තියා ගැනීමට විදුහල්පතිවරු මහන්සි ගන්නා අතරේ syllabus කවර් කිරීමටට පමණක් ගුරුවරු වැඩ කරයි. දෙමාපිය වදයට ළමයි පාසල් යයි... එක වීමේ, කඩඉම පැනීමේ, පසුකර යාමේ ක්‍රියාවලියක සෑම දෙනා සිරවී සිටි. සමස්තය එසේ නොවුනත් මේ සන්දර්භයෙන් පිට අධ්‍යාපනයක් අපට ඇද්ද... ඥානයෙන් යුතු, ගුණගරුක, නීතියට හිස නමන, මනුසත්කමින් පිරි දරු පරපුරක් පිළිබඳ කාගේ නම් අවධානය යොමු වේද... ඒවාගේම ඔහු එඩ්වඩ් ජයකොඩිට ලියූ සමනලයා මල හා ළමය ගීතය තුළ නගන ප්‍රශ්නය ‘සමනලයා කොතනේ...?’

විජය කුමාරතුංගගේ ඝාතනය මුළු රටටම ඇසෙන්නට බිඳුණු කටහඬින් කී ඔහු මානවහිතවාදියෙක්ගේ, සහෘදයකුගේ නික්මයාම තවත් මානවහිතවාදියෙක් හැඟීම්බරව ගුවනට මුසුකලේ එලෙසය. දැනෙන හදවතක්, උණුවන හදවතක් ඔහුට තිබිණි. මල් තරුණ සාමය, හඳ මාමා උඩින් යතේ..... වැනි ගී තුලින් ඒ බැව ප්‍රකටවේ. මිනිසෙකු පිට නැගී අසරුවෙකි, කන්ඳ කෙන්ද කරනු පිණිස, කුන්ඩුමණී යන ගීත තුලින් ඔහු සමාජයේ ජීවත්වන මිනිසාගේ විවිධ හැසිරීම් පෙන්වමින් ඒවා විවේචනය කර උපහාසය අවැසි තැන උපහාසයද යොදාගෙන ඒ සිදුවීම් සිදුවන්නට හේතු වන කරුණු විචාරය කිරීමට රසිකයා පොලඹවයි.  තම මිතුරෙකුගේ ගෙදර ආරවුලක් ඇතිබව දැනගත් ඔහු

සැපවත් පවුලක පරමාර්ථෙ - ප්‍රීතිය හා සොම්නස වන්නේ   

සැමියයි බිරිඳයි නෙත් දෙක සේ - සැමදා ජීවත් විය යුතුවේ’ යන ගී පදපෙල ලිය දොරේ එල්ලීය. තවත් මිතුරෙකු විවාහය බිඳී තම දියණිය ගැන සිතමින් සිටිනා විට ‘අම්මා ළඟට දුව යන එක ඉතා හරී - එරුණේ නැති නිසා මගේ තනේ කිරි’  යනුවෙන් පැදිපෙලක් ලියා දී තිබිණ. ඒ වාගේම මිල්ටන් මල්ලවාරච්චි වැනි අය ක්ෂේත්‍රයට ආ මුල් යුගයේ ඔවුන්ට අතහිත දුනි. දිනෙක රන්සළු පළඳා, සුන්දරත්වයෙන් පිරි හා තවත් ගී දෙකක් ලියා වික්ටර් රත්නායකයන් හට දී සංගීතවත් කර ජනප්‍රියත්වයට පත්වීමට ඉඩ මෙන්ම ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායක වර්ගීකරණයට පත් වීමටද මාර්ගය පාදා දුන්හ. ඔහු ගී පද මුදලට, ජනප්‍රියත්වයට හෝ සම්මාන බලාගෙන නොලිව්වේය. තම සතුට, මිතුදම, වින්දනය වෙනුවෙන් ලිව්වේය. ඒ නිසයි ඔහුගේ පදවැල් මෙතරම් රසවත් වන්නේ. මර්වින් පෙරේරා හට සරල ගී වැඩසටහනට එක් ගීයක් මදි වී ප්‍රේමකීර්ති හට කී මොහොතේ බුලත් විටක් ගෙනත් දෙන පමාවට ඔහු ගී පද අමුණා දී තිබිණ. තම ප්‍රථම සරල ගීතය වන රූපා ඉන්දුමතී හා මල්කාන්ති නන්දසිරි ගයන ‘හද පුදසුනෙ සෙනෙහෙ බැඳුණේ’ ඔහු ලියා තිබෙන්නේ කොළය බිත්තියේ තබාගෙන විනාඩි කිහිපයකදීය. ‘ආදරයේ උල්පත’ වූ නම් මව්ගුණ ගීතයේ පද පෙළ ලියා තිබෙන්නේ බසයේ යන ගමන් තමා ගත් බස් ටිකට් එකේමය.

මේ නගරය මා, සසර සරි සරණ තෙක්, රටකින් එහා, එදා රෑ, ඔබ දේදුන්න ආකාසයේ, ආදරණීය නේරංජනා, කෙදිනද කූඩු හදන්නට, මියුරු කල්පනා, දිනෙක රන් සළු, මිහිරැති වසන්ත කාලේ.... යන ප්‍රේම ගී තුලින් වර්තමානයේ හඬන, යදින, දරුණු, කාමුක තාරුණ්‍ය වෙනුවට දයාන්විත, ලයාන්විත, ආදරණීය තාරුණ්‍යයකට ඔහු එදා ඇමතීය. තනි තරුවේ ඔබත් ඔහොම හා අපි හැඟුම්වලට ඉඩ දී...  ගීත වෙනස්ම ආරකට ලියවුන ආදර ගී පෙළකි. ඔහු ඇතිවන ආදරය නැතිවී යන හේතු ගැනද කතා කළහ. මානවහිතවාදියා මෙන්ම පරිසරහිතවාදියාද ඔහු තුළ එකසේ සිටියේය. දිනක් ළිඳකට වැටුණු ලේනෙක් බේරා ගැනීමට මඩ තවරාගෙන ලිඳට බැස්සේ දෙවරක් නොසිතමින්ය. කුරුල්ලන්ට ගී ගයන්න... ඒ පරිසරයට, සතා සීපාවාටද ආදරය කරන හැටි කියා දෙන ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පාඩමයි.

නමුත් බල ලෝභී දේශපාලන ඔනෑකමට ඔහුගේ බිරිඳ කෑ ගසද්දීද බලෙන් ඇදගෙන ගොස් වෙඩි තියා මරාදමා තිබියදී පසුදා උදේ නිසල දේහය සොයා ගැනිණ. අහල පහළ උදවියවත් විපතකදී ඇස් ඇර නොබලන අතරේ ඔහුගේ මුහුණටත් වෙඩි තබන්නට තරම් නරුමයන් අමානුෂික වී ඇත්තේ හදවතේ සුන්දරත්වය හඳුනා ගන්නට තරම් හැකියාවක් ඇති සමාජයක් අපට නැති නිසා වන්නට පුළුවනි.

 

                                                                 

 


No comments:

Post a Comment