Tuesday, June 16, 2020

ලිංගික අධ්‍යාපනය - 2

මෙහි 1 කොටස වන ලිංගික අධ්‍යාපනයගෝලීය වශයෙන් බිහිවීම හා ව්‍යාප්තිය යන කොටසට යොමුවන්න.

ලංකාවේ ලිංගික අධ්‍යාපනය කෙසේ විය යුතුද ?

ලිංගික අධ්‍යාපනය පාසල් වල ඉගැන්වීම පිළිබඳ ලංකාව තුළ විවිධ විවිධ අදහස් ඇත. 2000 වර්ෂය ඇරඹිටත් පෙර සිට ලංකාවේ වැඩිහිටි ශ්‍රේණි මට්ටමින් මේ ලිංගික අධ්‍යාපන වැඩසටහන් වරින් වර ක්‍රියාත්මක වූ බව දක්නට හැක. නමුත් බටහිර පදනම් කරගෙන බිහි වූ මේ අධ්‍යාපන විෂය ලංකාවට උචිතද , එසේ උචිත වේ නම් විෂය පථයක් ලෙස සකස් කර මොන මොන වයස් කාණ්ඩය යටතේ හැදෑරීමට නිර්දේශ කළ යුතුද, විෂය අන්තර්ගතය කෙසේ විය යුතුද කියා කතිකාවතක් ලංකාවේ නියමාකාරයෙන් සිදුවී නොමැත. 10 ශ්‍රේණිය හා සාමාන්‍ය පෙළ විද්‍යා විෂයටද යම් කොටසක් මේ ලිංගික අධ්‍යාපනයෙන් ඇතුළත් වී ඇති අතර ඒ කොටස පන්තියේ ඉගැන්වීමටද සමහර ගුරුවරියන් යම් ඔතෑනි ගතියක් දක්වයි. එසේ තිබියදී මෙය නිකම්ම කාල පරිච්ඡේදයක් ඉවර කර දැමීමට යොදා ගන්නවාද, නැතිනම් රටේ අනාගතය භාරගන්නට ඉන්න දරුවන් ඉවර කර දැමීමට යොදා ගන්නවාද කියා රජය හා අධ්‍යාපන අමාත්‍යාංශය යන වගකිව යුතු තැන් තීරණය කළ යුතුය.

බටහිර ඇතුළු ඒ රටවල් මුල් කාලයේ ලිංගික අධ්‍යාපනය ඇරඹීමට යොමුවූ කරුණු 6ක් පෙර ලිපියේ දක්වා ඇත. ඒ දෙස හොඳින් බැලීමේදී පෙනී යන්නේ ඒ පළමු කරුණු 5 ලංකාවේ මේ අධ්‍යාපන ක්‍රමය අරඹන්නටත් පෙර සිට අප සමාජයේ යම් අයුරකින් තිබූ බවය. නමුත් පෙළගැස්වීමකින්, විශේෂඥ දැනුමකින්, ක්‍රමිකව විෂය පථයක් ලෙස සිදු නොවිනි. ගෙදර සිටි අත්තම්මා, නැන්දා, ලොකු අම්මා, ලොකු අක්කා වැනි අය ඇසුරේ සෑදුණු දැරිවිය හා මාමා, බාප්පා සහ ඥාති වැඩිමල් පිරිමින් ඇසුරේ සිටි කුඩා දරුවා තම පිරිසිදුකම, අන් අය සමග ගනුදෙනු කරන අයුරු, සමාජය තුළ හැසිරෙන හැටි ආදී බොහෝ දෑ දැන ගති. රෙදි සේදීමට, නාන්න තම ඥාති කාන්තා පිරිස සමග ගිය වැඩිවියට පත්වූ යෞවනියට හොඳ, නරක දැනගැනීමට හා හිරිහැරයක් හෝ යම් අතවරයක් වීමට ඇති ඉඩ  ඇහිරිණි. ඒ වාගේම කායික වෙනස්වීම්, සමාජීය ඇසුර  කෙසේදැයි තේරුම් ගැනීමට උපදෙස් ලැබිණි. තම විස්තෘත පවුල තුළ රැකුණ දරුවන් ගමේ ගොඩේ තනිව හැසිරුනද අවට බොහොමයක් දෙනා ඥාතීන් නිසා යම් සොයා බැලීමට ලක්වුණි. අද මෙන් රූපවාහිනියෙන්, දුරකතනයෙන්, සමාජයෙන් කාමුකත්වය ඉස්මතු නොකළ ඒ යුගයේ ගමේ බොහෝ වැදගත් කටයුතු සිදුවුනේ පන්සලත් සමගය. ඉතින් මේ ආගමික චාරයකින් හෙබි යෞවනයාට විරුද්ධ ලිංගිකයා කෙරේ ඇල්මක් තිබුණද කාම පිපාසාවක් නැතිවා සේම ලිංගාශ්‍රිත රෝග බියක්ද නොතිබිණි. නමුත් පෙර ලිපියේ සඳහන් ඒ රටවල සමාජ ක්‍රමය තරමට නැතත් අප රටද වත්මනේ ගමන් කරමින් සිටින්නේ ඒ දෙසටය.

ලංකාවේ වර්තමාන මෙම අධ්‍යාපන ක්‍රමය කෙසේ විය යුතු ද ?........ යන ගැටලුව විසඳීමට අප මූලික වශයෙන් කරනු 2ක් අවධානයට ගත යුතුය. අධ්‍යනය කළ යුතුය.

1 - ඒ රටවල් තම වත්මන් සමාජය යන කරුණත් අවධානයට ගත්තා සේම අපද එයට අවධානය යොමු කළ යුතුය.

2 - ඒ රටවලට ගැළපෙන ලෙස සකසාගත් අධ්‍යාපනය (සමස්තය බටහිර ඇතුළු සියලු රටවල් එකම ආකෘතිමය ක්‍රමයකට තමා යොමුව තිබෙන්නේ) අපටත් එකසේ ගැළපේද යන්නට අවධානය යොමු කළ යුතුය.

ඉහතින් පෙන්වූ ලෙස වර්තමානයේ තම විස්තෘත පවුලෙන්, ඥාති පිරිස සමගින් වැඩිවියටපත් යෞවනයට වෙනුවට අද වෙනස් පරිසරයක් සැකසී ඇත. ඒ වාගේම විවෘත ආර්ථිකය හා සමාජීය ක්‍රමය තුළ බටහිර වෙළඳපොල හා ජනප්‍රිය සංස්කෘතිය මෙහි සේම මුළු ආසියාවේම පොම්ප කිරීම කලක පටන් සිදුවේ. ඉතින් අප මේ පරිවර්තනය වෙමින් සිටින යුගයේ පෙර සමාජය සංස්කෘතික හරපද්ධතීන් තුල එක කකුලකුත් අනෙක් කකුල බටහිර ක්‍රමය තුලත් තබාගෙන ඇත. යම් සංයමයක් තිබූ අප දැන් ඊනියා නිදහස් අදහස් පෙරදැරිව කාමභෝගී වෙමින්, සංකර වෙමින් පවතී. එසේ වන විට එදා බටහිර රටවල මෙන් එය කුඩා දරු පරපුරට හා යෞවනයන් හටද ප්‍රතිවිපාක භුක්ති විඳින්නට සිදුවන බව පෙනේ. බටහිර පරීක්ෂකයින්ට එදා දැකගැනීමට හැකිවුණු සමහරෙක් කරුණු වත්මනේ අපටද දැකිය හැකිය.

· යෞවනයේ පෙර තිබූ ලැජ්ජාව හා විළිබිය අඩුවීමක්, යම් කාමුකත්වයකට නැඹුරු වීමක් හා සමලිංගික ක්‍රියා වර්ධනයක්

· කායික එක්වන්නට පෙළඹීමක් හා ඒවා සම්බන්දව කතා කිරීමට විරුද්ධ ලිංගිකයින් දෙපිරිසේම කැමැත්ත වැඩිවී ඇත

· මත්ද්‍රව්‍ය, මත්පැන් හා මත්වැටි පාවිච්චිය වර්ධනය

· කුඩා වයසේ පසුවන අය ඥාති නොවන වැඩිහිටි පුද්ගලයින් සමග ආශ්‍රයේ වැඩිවීම

ඉතින් මේ කාර්යභාරය දෙමාපිය-ළමා බැමි, ගෞරවය දුරස් වූ බටහිර රටවල මෙන් නොව අප රටේ තවමත් යම් සදාචාරාත්මක වගවීමක් ඇති හෙයින් මව්පියන්නට ළමයා තමා අසළ තියාගෙන සමහරෙක් කරනු කතා කර නොහැකිය. (ලිංගික එක්වීම ආදී කරනු). ඒ වාගේම පවුල, ඥාතිත්ව හා සමාජ සම්බන්ධතා විසිරී ගිය, බීමත් තාත්තා අතින් තම වැඩිමහල් දියණිය අපහරණයට ලක් වන පසුබිමක දරුවන්ට සමාජය තුලින් පූර්ණ රැකවරණයක් සැලසෙනවා යයි කියන්නටද බැරිය. ඉතින් මවවත් ගෙදර නොසිට වැඩට යන කළ මේවා කියා දීම කුමන හෝ ආකාරයකින් සිදුවිය යුතුවේ. නමුත් බටහිර රටවල ඇති ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය එලෙසම මෙහි භාවිතයට ගැනීම අනුවණ කමකි.

අවධානයට ගතයුතු කරුණු -

    · බටහිර තිබෙන ඊනියා නිදහස, ලිබරල්වාදී සමාජ ප්‍රතිසංස්කරණ සමග ඔවුන් අප මෙන් වාරණයන්ට කැමති නැත (බොහෝ දෙනා). ඉතින් ඔවුන් එය දරුවන්ටද භාවිත කරයි. නව යොවුන් වයසේ තරුණියකට සහකරුවකු සමග සම්බන්ධයක් ඇති කරගැනීමට බාධාවක් නොවේ. බාධාවක් නොකරන, නොවන තැන ඊළඟට ඇතිවන ප්‍රශ්නය නම් ලිංගිකව එක් වීමකදී ගැබ් ගැනීමක් සිදුවුණ හොත්, මන්ද යෞවනයන් ආරක්ෂාකාරී එක්වීමක් ගැන දැනුවත්වී නොමැත. මේ ආදී ඇතිවන ගැටළු තැන් වලටයි බටහිර ප්‍රමුඛ බොහෝ රටවල් මේ ලිංගික අධ්‍යාපන ක්‍රමය ඇරඹුවේ. (විශේෂයෙන් මේ ක්‍රමය දිළිඳු හා AIDS ඇති අප්‍රිකා රටවලට වැඩදායක වී ඇත). ඉතින් අප සමාජය ඒ තරමටම සමපාත නොවන නිසා එම රටවල භාවිත අදහස් අපට අවැසි නොවේ. ඔවුන් මෙන් තවමත් අප සමාජය ආගමික පරිසරයෙන් දුරස්ව නැත. ඉතින් අපට මේ කාමුකත්වය යෞවනයෙන් දුරස් කිරීමට ආගමික හික්මීමත් ඉවහල් කරගත හැක. මෙය ආගමට තාරුණ්‍ය කොටු කිරීමක් නොවේ. ඔවුන්ට තම අතීත සමාජය පවත්වාගෙන ආ යහපත් සිරිත්විරිත්, හික්මීම ලබා දීම මගින් තම ජීවිතයට මෙන්ම සමාජයට වගකියන, හැඟීම් වලට වහල් නොවූ යෞවනයක් ඇති කළ හැක.

    · අප දැඩි අවධානයට යොමු කළ යුතු කරුණක් නම් බටහිර සිසුන්ට වැඩසටහන්, ඉගැන්වීම් දියත් කරමින් සාරධර්ම වර්ධනය කිරීමට උත්සුක වීම්, නිදහස් යෝජනා කිරීම් සිදුකලත් ලිංගික එක්වීමේ වාර ගණන සැලකිය යුතු ලෙස අඩු නොවීම සහ ලිංගිකත්වයට එළඹීමේ ආරම්භය පමා වීමක් සැලකිය යුතු ලෙස සිදුවී නොමැතිමුත් එක්වීමේදී ආරක්ෂාකාරී වීමේ වර්ධනයක් පෙන්වයි. ඉතින් අපටත් අවශ්‍ය මේ දෙය පමණක් නම් ඒ අධ්‍යාපන ක්‍රමයම මෙහේ ස්ථාපිත කළ හැක.

    · අනෙක් කරුණ නම් ලිංගික සම්බන්ධයකට යෑමට මුත් බියෙන් සිටින යෞවනයන්ට මේ විෂය සකස් කර නොදීමෙන් පනින රිළවුන්ට ඉනිමං බැන්ඳා වගේ වන්නටද පුළුවනි. (සුරක්ෂිත ලිංගික එක්වීම, කොන්ඩම් පැළඳීම කියාදීම වැනි කරනු නිසා)

    · සිසු, සිසුවියන් දෙපිරිසටම එකට  උගැන්වීමමෙන් බිය හා ලජ්ජාශීලී බව නැතිවිය හැකිය. (පිරිමි ළමුන් ඉදිරියේ තබාගෙන සිසුවියන්ට සනීපාරක්ෂක තුවා භාවියට උපදෙස් දීම, සිසුවිය ඉදිරියේ සිසුන්ට ශිෂ්ණය පිබිදීම ගැන පැහැදිලි කිරීම)

    මේ සියලුම කරුණු සැලකීමට ගෙන අධ්‍යනය කිරීමේදී පෙනී යන දෙයක් නම් මේ විෂය ක්ෂේත්‍රය සිසුන්ගේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කළ යුතු අතර වයස් සීමාවන්ට, කාන්ඩයන්ට අනුව බෙදා යම් යම් කරුණු ඉගෙනීමට යුතු බවය. එය තනි විෂය ක්ෂේත්‍රයක් ලෙස ගත නොහැක. සමාජ අධ්‍යනය, විද්‍යාව හා ප්‍රායෝගික කුසලතා වර්ධනය විෂයන් මෙන්ම සිංහල හා ඉතිහාසය යන විෂයන්ද අවශ්‍ය වේ.

කුඩා විය -

    සමහරෙක් දෑ කුඩා කළ සිට ගෙදරින්ම කියා දිය යුතුවේ. ඒත් සමහර දුවාදරුවන්ට දෙමාපිය හෝ වැඩිහිටි බලාකියාගන්න පිරිසක් නැති නිසාත් සැලකිය යුතු කාලයක් පාසලේ රැඳෙන නිසාත් ඒවා පාසලෙන්ද කුඩා දරුවන්ට කියා දිය යුතුය. ඒවා නම්

    · නිවැරදි පුරුදු                  ·පිරිසිඳු බව                       · වැඩිහිටියන්ට කීකරු වීම ආදියයි. මේවා කතන්දර, උපමා කතා, චිත්‍ර කතා ආදියෙන් කුඩා දරුවන්ගේ සිතට ඇතුළත් කළ හැකිය.

මධ්‍යම ළමා විය -

    මේ වයසේ දරුවන් යොවුන් වියේ මුල් අවධියයි. තම අවයව පිළිබඳ තරමක දැනීමකින් හා සමාජයේ දේවල් ග්‍රහණය කරගැනීමේ හැකියාවකින් යුක්තයි. එම නිසා තමන්ගේ ලිංගික අවයව ශරීර කෘත්‍යයෙන් (මුත්‍රා හා මළපහ) පසු නිවැරදිව සෝදා ගන්නා ආකාරයත් ඉන් පසු අත් දෙක සෝදා ගන්නා ආකාරයත් කියාදීම, අන් ළමුන්ගේ සිරුරේ ඇල්ලීමට නොහැකි ප්‍රදේශ පිළිබඳ තේරුම් කර දීම, නොහඳුනන වැඩිහිටියන් හමුවේ ක්‍රියා කරන්නේ කොහොමද, ළමා පැහැරගැනීමක් යනු කුමක්ද ආදිය කියා දීම කළ හැක.

මධ්‍යම හා මුල් යොවුන් විය අතර විය -

    මේ වයසේදී දරුවන් විරුද්ධ ලිංගිකයා කෙරේ යම් ආකර්ෂණයක් පෙන්වීම, ශාරීරික වෙනස්කම් ඇතිවීම පටන් ගැනුම ආදිය සිදුවේ. ඔවුන්ගේ විද්‍යා විෂය පද්ධතිය මගින් සිරුරේ ක්‍රියාකාරිත්වය, ජීවයේ හටගැන්ම, ලිංගික වෙනක්ම් මත ගෑනු පිරිමි භාවය තීරණය කිරීම ගැන කියා දිය හැක. ඒ වගේම සමාජ අධ්‍යනය විෂයන් මගින් යොවුන් වයස, සමාජ සම්බන්ධතා, පවුල් පසුබිම ආදිය ගැන කියා දිය හැක. මේ වයස් සීමා තුනටම වෙනින් විෂයක් අවශ්‍ය නොවේ.

යොවුන් විය -

    මේ වයසේ විරුද්ධ ලිංගිකයා සමග යම් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට උත්සහ ගනී. සිරුරේ වෙනස් කම් සමග ඒවාට අනුගතව විවිධ අත්හදා බැලීම් වලට යන්නට යොමුවේ. වර්තමානයේ දී සිප ගැනීම, තම හෝ විරුද්ධ ලිංගිකයාගේ කයේ ස්පර්ශය ලබමින් වින්දනයක් ගැනීමට පෙළඹේ. එම නිසා මේ වයසේ ඇරඹුමත් සමගම ලිපියේ ඉහත සඳහන් කළ ලෙස තම ආශාවන්, සිතුවිලි ආගමික හා සමාජීය පරිසරය හමුවේ පාලනය කරගන්නා හැටි, විරුද්ධ ලිංගිකයා හා ආශ්‍රයේ ඇති සීමාවන්, ලිංගික එක්වීමකට ගියහොත් අනාගතයේ ඇතිවන ගැට‍ළු, තම අවධානය අධ්‍යාපනයට ලබා දෙන හැටි ගැන, පෞරුෂ වර්ධනය වැනි කාරණා කතා කළ හැක.

නව යොවුන් විය -

    මේ වයසේ මුහුකුරා ගිය බවක් හා තම සිතැඟි ක්‍රියාවට නංවන්නට යන ආකාරයක් පෙනේ. මේ වයස් කාණ්ඩය ලෙස 15 (10 වසර) සිට උ. පෙළ දක්වා ගත හැක. මේ වයස් කාණ්ඩයට තමා ලිංගික අධ්‍යාපනය ලෙස අප හඳුනා ගන්නා විෂය ලබා දීම සිදු කළ යුත්තේ නමුත් එය තනිකරම ලිංගිකත්වය සම්බන්ධ ඉගැන්වීමක් නොවන නිසාත් සිසුගේ හා සමාජයේ පහසුව තකා ‘යොවුන් සම්බන්ධතා හා සමාජ අධ්‍යනය’ , ‘යොවුන් කායික හා මානසික අධ්‍යනය’ වැනි යෙදුම් භාවිතා කළ හැක. ඒ වගේම මේ වයස් කාණ්ඩයේ අයගේ විෂය ක්ෂේත්‍රයට ඇතුළත් හා නොවිය යුතු කරුණු නම් -

ඇතුල් වියයුතු කරුණු -                                            ඇතුල් නොවියයුතු කරුණු -

හැඟීම් අවුස්සන කාම මාධ්‍ය, වෙළඳ උපක්‍රම

ලිංගික එක්වීම යෞවනයකුගේ පූර්ණ අයිතියක් බව

යොවුන් සම්බන්ධතාවක ඇති ගැඹුර හා වපසරිය

ස්වයං ලිංගික සන්තර්පණ පූර්ණ වරදක් නැති බව

අධ්‍යාපනය කරන සමයේ සම්බන්ධයක් ඇරඹීම හරිද?

ස්වයං ලිංගික සන්තර්පණ භාණ්ඩ ගැන

විවාහය හා ඊට පෙර ලිංගික එක්වීමේ ප්‍රතිවිපාක

සමලිංගික එක්වීමේ වරදක් නැති බව

ලිංගික එක්වීමක් තුලින් ගැබ් ගැනීමක් වන්නේ කෙසේද

සාමූහික ලිංගික එක්වීම් ගැන

ආරක්‍ෂිත ලිංගික එක්වීම් /කොන්ඩම් භාවිතය

ගබ්සාවක් කරන්නේ කොහොමද කියා දැනුවත් කිරීම

ලිංගාශ්‍රිත රෝග වැළඳෙන ආකාරය

කැමැත්තෙන් අනෙකාට ලිංගික අවයව සිපගැනීමට, ස්පර්ශයට ලබා දීම වරදක් නැති බව

ගබ්සා කිරීම ගැන නීති රීති, සමාජ මතය හා කුලසිරිත්

 

 

    මේ කාරණා ඇතුලත්ව ඇතිව විෂය ඉගැන්වීමට කලින් සඳහන් කළ ලෙස නව යෞවනයන් දෙපිරිසම එකට තබා කළ නොහැකි අතර පාසලේම සිටිනා කාන්තා ගුරුවරියකට පිරිමි ළමුන් හට මේවා කියා දීමේදී ඇතිවන ප්‍රායෝගික අපහසුතාද දක්නට ලැබේ. එම නිසා සිසුවියන්ට ගුරුවරියකුත්, සිසුන්ට ගුරුවරයකුත් ලෙස භාවිතා කරමින් වෙන වෙනම ඉගැන්වීම් සිදු කර හැක. ගුරුවරුන් දෙදෙනෙක් එක විෂයකට පත් කළ නොහැකිනම් පාසල් කිහිපයකට දෙපක්ෂයෙන් ගුරුවරු දෙදෙනෙක් දැමිය හැකි අතර විෂය අවුරුද්දක් පුරා ඉගැන්වීමට තරම් නොවන නිසා කිසිඳු ගැටළුවක් ඇතිවන්නේද නැත.

අවසන් නිගමනය - මේ සියලුම කාරණා මනාව අධ්‍යනය කිරීමෙන් පෙනී යන්නේ දරුවා හා තාරුණ්‍යයට විෂය දැනුමක්, ශිල්පීය ඥාණය ලබා දීම පමණක් නොව ඔවුන්ව යහමගට ගැනීම, දුසිරිතෙන් තොර කිරීම, අනාගතයේ සමාජ දේහයට එක්වන්නට හැකියාව ඇති කිරීම ආදී පුළුල් පරාසයක් අධ්‍යාපනයට හා පාසලට පැවරී ඇති බවය. ඉතින් මෙය තනි විෂයක් හරහා කරන්නට යෑමෙන් කිසිඳු ඵලක් නැත බව ඉහත පෙන්වා ඇත. ගසට පොහොර, වතුර දැමිය යුත්තේ, ව්‍යාප්ත වන දිසාව තීරණය කළ යුත්තේ ගස පැලකළ දින සිට මිසක් මගක් වැඩි ගිය පසු නොවේ. ඒ නිසා කළ යුත්තේ, අවධානයට ගත යුත්තේ අධ්‍යාපනය දැනුමකට සීමා නොකර සමාජ පුරවැසියෙක් බිහිකරන, වගකිව හැකි ඥානණයෙන් යුත් පුරවැසියෙක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම විනා ලිංගික අධ්‍යාපනය විය යුත්තේ කෙසේද කියා විෂය නිර්දේශ සෑදීම හෝ සිසුන්ට තවත් විෂය බරක් හිසමත පැටවීම නොවේ. නැතිනම් වන්නේ “ලිංගික අධ්‍යාපනය” මේ සංවාදය තවත් දශකයක් යනකම් ලංකාවේ කතාකිරීමට ලක්වන, මාධ්‍යට පතුරු ගැසිය හැකි මාතෘකාවක් පවත්වාගෙන යෑම පමණි.

 

 


No comments:

Post a Comment